Sunday, May 11, 2025
Home » නි‍වෙසේ නිදා සිටි සිසුවා වන අලියාට බිලි

නි‍වෙසේ නිදා සිටි සිසුවා වන අලියාට බිලි

by gayan
November 30, 2023 1:00 am 0 comment

සීගිරිය විශේෂ

සීගිරිය, කිබිස්ස ප්‍රදේශයේ තරුණ පිරිසක් සමඟ නිවසේ කාමරයක නිදාගෙන සිටිය දී වන අලියකු නිවසේ බිත්තිය පෙරළා දැමීම නිසාවෙන් බිත්තියට යට වූ වයස අවුරුදු දහනමයක් වූ හෝටල් පාඨමාලාවක් හදාරමින් සිටි සිසුවකු 28 දින මධ්‍යම රාත්‍රියේ මියගොස් ඇතැයි සීගිරිය පොලිසිය කියයි.

මෙසේ මියගොස් ඇත්තේ සීගිරිය, කිබිස්ස ප්‍රදේශයේම පදිංචි අවින්ත ඉශාන් සමරනායක නමැති අයෙකි. සීගිරිය ප්‍රදේශයේ සංචාරක හෝටලයක හෝටල් පාඨමාලාවක් හදාරමින් සිටි මෙම තරුණයා මිතුරන් පිරිසක් සමඟ නිවසට නොදන්වා නිවස ආසනසන්නයේ තවත් මිතුරෙකුගේ නිවසට පැමිණ රාත්‍රී නිදාගෙන සිට තිබේ.

මෙම නිවස පිටුපස පැළ කිරීම සඳහා වී ගෝනි කිහිපයක් ගොඩගසා තිබී ඇතැයි නිවැසියන් පවසති. එම වී ආහාරයට ගැනීම සඳහා පැමිණි වන අලියකු එම වී ආහාරයට ගෙන මෙම තරුණ පිරිස නිදාගෙන සිටි නිවසේ බිත්තියට පහර දී ඇතැයි පොලිසිය කියයි.

එසේ පහර දීමත් සමඟ ඇඳ මත නිදාගෙන සිටි තරුණයන් මතට බිත්තියේ ගල් කැබලි පෙරලී ගොස් මෙම තරුණයා බරපතළ තුවාල ලබා තිබුණු බවත් පසුව ප්‍රදේශවාසීන් සහ පොලිසිය එක්ව සීගිරිය ග්‍රාමීය රෝහලට රැගෙන යන අවස්ථාවේ මියගොස් තිබුණු බවත් පොලිසිය සඳහන් කළේය.

මෙම තරුණයාගේ මව විලාප දෙමින් කියා සිටියේ නිවැසියන්ට ද නොදන්වා නේවාසිකව සංචාරක හෝටලයේ පාඨමාලාව සිදු කරමින් සිටි තම පුතා මිතුරන්ගේ දැනුම්දීමක් මත මිතුරෙකුගේ නිවසට මෙසේ ගොස් ඇති බවය.

සීගිරිය ප්‍රදේශයේ නිරන්තරයෙන්ම වන අලින් නිසා ප්‍රශ්න ගැටලු රැසකට මුහුණ දෙන බව ප්‍රදේශවාසීහු පෙන්වා දෙති. පසුගියදා සීගිරිය මහා විද්‍යාලයේ ගොඩනැඟිල්ලකට ද වන අලින් රාත්‍රියේ පහර දී පෙරළා දමා තිබිණි.

මිය ගිය තරුණයාගේ දේහය සීගිරිය ග්‍රාමීය රෝහලේ තැන්පත් කොට ඇති අතර ඒ පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතව බව පොලිසිය කියයි. සිද්ධිය සම්බන්ධයෙන් සීගිරිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වති.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT