Saturday, May 10, 2025
Home » ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණයට නිල ණය හිමියෝ එකඟ වෙති

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණයට නිල ණය හිමියෝ එකඟ වෙති

කලින් චීනය; මෙවර ජපානය-ඉන්දියාව-ප්‍රංශය

by gayan
November 30, 2023 1:00 am 0 comment

මහින්ද අලුත්ගෙදර

මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා එකඟ වන බව ජපානය, ඉන්දියාව සහ ප්‍රංශය යන රටවලින් සමන්විත සම සභාපතිත්වය දරන නිල ණය හිමි කමිටුව තහවුරු කර තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනේ දක්වා ඇති ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රමිතීන්ට අනුකූලව ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යූහගත කිරීම සඳහා නිශ්චිත මූල්‍යකරණ සහතික පිළිබඳ ප්‍රතිපත්තිමය එකඟතාව ජපානය, ඉන්දියාව හා ප්‍රංශය සම සභාපතිත්වය දරන නිල ණය හිමි කමිටුව මඟින් තහවුරු කර ඇතැයි මුදල් රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කරයි.

ශ්‍රී ලංකාවේ සියලු නිල ණය හිමියන් ණය ප්‍රතිව්‍යුහගත කිරීමට එකඟ වීම ඉතා වැදගත් සන්ධිස්ථානයක් වන අතර එය ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය විසඳීමේ ප්‍රධාන පියවරක් වන බව ද මීට පෙර චීන එක්සිම් බැංකුව මඟින් ණය ප්‍රතිව්‍යුහගත කිරීමට එකඟතාව පළ කළ බව ද ඒ මහතා පෙන්වා දෙයි.

නිල ණය හිමි කමිටුව මඟින් එකඟතාව ලබා දීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනේ පළමු සමාලෝචනය අවසන් වීමෙන් පසු දෙවන වාරිකය නිදහස් කිරීමට අදාළ විධායක මණ්ඩලයේ අනුමැතිය දෙසැම්බර් මස තුළ ලබා ගැනීමට හැකියාව ඇති කරන බව පෙන්වා දෙන මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා එමඟින් ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව වැනි අනෙකුත් හවුල්කරුවන්ට තවදුරටත් මූල්‍ය පහසුකම් සැපයීමට හැකියාව ලැබෙන බවද කියා සිටී.

මෙම පියවර ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය සඳහා ජාත්‍යන්තර ප්‍රජාවගේ අඛණ්ඩ සහයෝගිතාව පෙන්නුම් කරන වැදගත් සන්ධිස්ථානයක් වන බව අමාත්‍යවරයා පවසයි. ශ්‍රී ලංකාව සාර්ව ආර්ථික ස්ථාවරත්වය ප්‍රතිෂ්ඨාපනය කර තිරසර ආර්ථික වර්ධනය ළඟා කර ගැනීමට අවශ්‍ය පුළුල් ප්‍රතිසංස්කරණ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට කැප වී සිටින බව ද සේමසිංහ මහතා සඳහන් කරයි.

ශ්‍රී ලංකාව සිය මූල්‍ය උපදේශකයන් මඟින් ප්‍රතිපත්තිමය වශයෙන් සමාන එකඟතාවකට පැමිණීම සඳහා බාහිර පුද්ගලික ණය හිමියන් සමඟ ද අඛණ්ඩව කටයුතු කරනු ඇති බව ද හෙතෙම වැඩිදුරටත් පවසයි.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT