දික්කසාද සහතිකයක් නිකුත් කිරීමට රුපියල් 7500ක අල්ලසක් ලබා ගැනීමේ චෝදනාවට සැකපිට අත්අඩංගුවට ගත් කොළඹ උතුර කාති අධිකරණයේ විනිසුරුවරයා ලබන දෙසැම්බර් 11 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඊයේ (29) නියෝග කළේය.
කොළඹ ප්‍රධාන පාසලක ගුරුවරයකු අල්ලස් හෝ දූෂණ කොමිසමට දුරකතනයෙන් කළ පැමිණිල්ලක් අනුව සැකකරු අත්අඩංගුවට ගෙන කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලදි.
පැමිණිලිකරු 2019 වසරේදී මුල් වරට විවාහව ඇති අතර 2023 වසරේදී මුස්ලිම් නීතිය යටතේ දෙවැනි විවාහයක් කරගෙන ඇත. දෙවැනි විවාහයේ ඇති වූ ගැටලුවක් මත එම බිරිය ඔහුගෙන් දික්කසාද වීම සඳහා කාති අධිකරණය ඉදිරියේ නඩු පවරා තිබේ.
තාවකාලික දික්කසාද සහතිකයක් නිකුත් කර ඇති කාති විනිසුරු, ස්ථිර සහතිකය දීමට පැමිණිලිකරුගෙන් රුපියල් 7,500ක අල්ලසක් ඉල්ලා ඇත. අල්ලස් කොමිසමට පැමිණිලි කිරීමෙන් පසු උපාය දූතයකු යොදවා අල්ලස දෙන අවස්ථාවේ පසුගියදා (27) ක්වාසි විනිසුරුවරයා අත්අඩංගුවට ගෙන ඇත.
අධිකරණ සේවා කොමිසමෙන් පත්වීම් ලැබූවකු වන සැකකරු රජයේ නිලධාරියකු හැටියට කටයුතු කරමින් සිය සේවය ලබාදීම සඳහා අල්ලසක් ඉල්ලා සිටීමේ චෝදනාවට මූලික පරීක්ෂණයක් කර, බී වාර්තාවක් මඟින් අධිකරණයට ඉදිරිපත් කරන ලදි.
සැකකරුගේ නීතිඥයන් කරුණු දක්වමින් සිය සේවාලාභියා කොළඹ ප්‍රධාන පල්ලියක මවුලවිවරයකු බවත් ඔහු වසර 7ක කාලයක් ක්වාසි අධිකරණයේ විනිසුරුවරයකු හැටියට කටයුතු කළ බවත් මින් පෙර කිසිදු චෝදනාවක් ඉදිරිපත්ව නැති බව කියා සිටියේය.
කාති අධිකරණවල කාන්තාවන්ට සානුකම්පිත තීරණ අවම වශයෙන් ලැබෙන බවත් එවැනි පසුබිමක සැකකරු දෙවැනි බිරියගේ ඉල්ලීම පිළිගෙන දික්කසාදය දීම නිසා අල්ලස් චෝදනාවක් නඟා ඇති බවත් කියා සිටියේය. මුස්ලිම් නීතිය අනුව දික්කසාද සහතිකයක මුල් පිටපත සැමියාට නොදෙන බවත් සැකකරු තැන්පතු මුදල් භාර ගැනීමද සිදු කරන බැවින් මුදල් පරිහරණය කරන බව කියා සිටියේය.
පැමිණිල්ල හා සැකකරුට අමතරව තවත් සාක්කි සටහන් කරගත යුතු බැවින් ඇප නොදෙන ලෙස අල්ලස් කොමිසම ඉල්ලා සිටින ලදි. ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා සැකකරු රිමාන්ඩ් බන්ධනාගාරගත කර ලදි. නීතිඥ හුසේන් නසාර් සැකකරු වෙනුවෙන් පෙනී සිටින ලදි.