අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදු කිරීමෙන් හිටපු ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතා අධිකරණයට අපහාස කර ඇති බවට පැමිණිලි කරමින් නීතිඥවරියක විසින් අභියාචනාධිකරණයට ඊයේ (29) පෙත්සමක් ගොනු කරන ලදි.
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාට එරෙහිව විභාගයක් පවත්වා සුදුසු දඬුවම් පමුණුවන ලෙස මෙම පෙත්සම මඟින් ඉල්ලා ඇත.
නීතිඥ දිමිත්‍රි ශිරාස් ඔගස්ටස් පිට්‍රාංජලී මහත්මිය විසින් පෙත්සම ඉදිරිපත් කරන ලදි.
එහි වගඋත්තරකරු ලෙස හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා නම් කර සිටී.
අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ඉකුත් 8 වැනිදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදු කරමින් අභියාචනාධිකරණය සභාපති විනිසුරුවරයාට අපහාසයක් වන ආකාරයෙන් කරුණු ඉදිරිපත් කර ඇති බවත් විනිසුරුවරයාගේ වෘත්තීය ජීවිතයට, චරිතයට විශාල අගතියක් මෙන්ම හානියක් සිදු කර ඇති බවත් පෙත්සමෙහි සඳහන් වේ.
එසේම එමඟින් ඔහු අභියාචනාධිකරණ සභාපතිවරයාට අපහාසයක් සිදු කර ඇති බවත් පිළිගත් පාර්ලිමේන්තු සම්ප්‍රදායට අනුව උපරිමාධිකරණ විනිසුරුවරු සම්බන්ධයෙන් මෙවැනි ප්‍රකාශයන් සිදු කිරීමට හැකියාවක් නොමැති බවත් පෙත්සම්කරු කියයි.
ඒ අනුව අදාළ ප්‍රකාශය සිදු කිරීමෙන් රොෂාන් රණසිංහ මහතා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105(3) ව්‍යවස්ථාවෙහි සඳහන් පරිදි අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බවත් පෙත්සම මඟින් පෙන්වා දී ඇත.
ඒ අනුව මෙකී සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය මඟින් විභාගයක් පැවැත්විය යුතු බව සඳහන් කරන පෙත්සම්කරු එබැවින් අදාළ ප්‍රකාශය සිදු කිරීම මඟින් අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් දඬුවම් නොකිරීමට හේතු විමසා වගඋත්තරකාර හිටපු ඇමැති රොෂාන් රණසිංහ මහතා වෙත නොතීසි නිකුත් කරන ලෙස පෙත්සම මඟින් ඉල්ලා ඇත.
එසේම ඔහුට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව ගොනුකර විභාගයක් පවත්වා අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් ඔහුට එරෙහිව සුදුසු දඬුවම් පමුණුවන ලෙස පෙත්සම මඟින් අධිකරණයෙන් ඉල්ලා ඇත.
මෙම පෙත්සම ලෆාර් තාහිර් සහ ඛේමා ස්වර්ණාධිපති යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත විනිසුරු මඬුල්ලක් හමුවේ අද (30) සලකා බැලීමට නියමිතය.
නෙල්කා මැදගෙදර