පාසල් සිසුන් සඳහා නිකුත් කරන වාර ප්‍රවේශ පත් ප්‍රමාණය ලබන වසරේදී අඩු නොකරන බවත්, දරුවන් සඳහා ලබා දෙන සිසු සැරිය සේවාව අඛණ්ඩව ලබා දෙන බවත් ප්‍රවාහන සහ මහාමාර්ග ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඊයේ (29) පාර්ලිමේන්තුවේදී පැවසීය.
ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍යංශයේ වැය ශීර්ෂ පිළිබඳ විවාදයට එක්වෙමින් ඇමැතිවරයා මේ බව පැවසීය.
වැඩිදුරටත් අදහස් දැක් වූ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා මෙසේද පැවසීය.
පරිපූරක ඇස්තමේන්තුවක් හෝ ඉදිරිපත් කර පාසල් දරුවන්ට ලබා දෙන එම සේවාව අඛණ්ඩව ලබා දීමට කටයුතු කරනවා. සිසුන් සඳහා ලබා දෙන වාර ප්‍රවේශ පත්‍රයේ මිල වැඩි වන්නේ නෑ. ඒ සඳහාද විශේෂ කමිටුවක් පත් කර ඇති අතර එම කමිටුව මඟින් මිල තීරණය කරනවා.
එමෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවැනි වාරිකය ලැබුණු වහාම නතර වී ඇති මාර්ග සංවර්ධන ව්‍යාපෘති නැවත ආරම්භ කරනවා. දුම්රිය මාර්ග ගලවා අලුත්වැඩියා කිරීම්ද, ලබන වසරේ ජනවාරි මාසයේ සිට ආරම්භ කරනවා.
මෙම මාර්ග අලුත්වැඩියා කිරීමේ ප්‍රශ්නයට මම තරම් වෙන කවුරුවත් බැණුම් අහල නැහැ. ණය ප්‍රතිව්‍යුහගත කරන තෙක් මුළු ලෝකෙම රටවල් අපිට ණය ලබා දෙන එක නතර කරලා තිබෙන්නේ. මෙයට දේශපාලන විසඳුමක් නැහැ. අපිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු වාරිකය ලැබුණා. දෙවැනි වාරිකයත් ලබන සතියේ ලැබෙයි. අය වැය සම්මත කර ගත්තම තමයි දෙවන වාරිකය ලැබෙන්නේ. ඒ විදිහට තමයි මෙම වැඩපිළිවෙළ සකස් කරල තිබෙන්නේ. එවිට මෙම නතර වී තිබෙන ව්‍යාපෘති නැවත ආරම්භ කරනවා.
අපිට ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ බස් රථ 500ක් ලැබුණා. එම බස් රථ ඩිපෝ 107කට බෙදාහැරියා. තවත් බස් රථ 400ක් අලුත්වැඩියා කර බෙදා දුන්නා. 2030 – 2050 වසර වන විට නව විදුලි බස් රථ සේවාවක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා. බස්නාහිර පළාතේ නව විදුලි බස් රථ නියමු ව්‍යාපෘතියක් සඳහා අයැදුම්පත් කැඳෙව්වා. මේ සඳහා ලෝකයේ විවිධ පෞද්ගලික සමාගම් 08ක් අයැදුම්පත් අරන් ගියා. නමුත් එක් සමාගමක් විතරයි ටෙන්ඩරය ඉදිරිපත් කළේ. මෙම ව්‍යාපෘතියට අනුමත කළොත් එම විදුලි බස් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්න පුළුවන්. මේ වන විට අනුරාධපුර සිට යාපනය දක්වා දුම්රිය මාර්ගය සම්පූර්ණයෙන්ම අලුත්වැඩියා කර තිබෙනවා. කන්කසන්තුරේ දක්වා නව දුම්රියක් ආරම්භ කළා. ඉතිරි දුම්රිය මාර්ගත් ලබන වසරේ සිට ගලවා අලුත්වැඩියා කරනවා. මේ සියල්ල සිදු වන්නේ ජනවාරි මාසයේ සිටයි. මහා මාර්ග, අධිවේගී මාර්ග සහ දුම්රිය මාර්ග සියල්ල පසුගිය මාස කිහිපයේ ඉතාම නරක ලෙස කඩා වැටුණා. ලංකාව පුරා මාර්ග ලක්ෂයේ වැඩපිළිවෙළ යටතේ ආරම්භ කළ සමස්ත ව්‍යාපෘති සියල්ලම එලෙස කඩා වැටුණා.
2022 වසරේ අපේ රට ලබාගෙන තිබෙන බදු ආදායම රුපියල් බිලියන 1751ක්. රාජ්‍ය සේවක වැටුප්වලට රුපියල් බිලියන 1265lක් රාජ්‍ය සේවක වැටුප් සහ විශ්‍රාම වැටුප්වලට ගියාම භාණ්ඩාගාරයේ බදු ආදායමක් ඉතිරි වන්නේ නැහැ.