කුමන ආණ්ඩුවක් තිබුණත් ණය ප්‍රතිව්‍යුහගතකරණයකින් තොරව මෙරට සංවර්ධන කටයුතු නැවත ආරම්භ කළ නොහැකි බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (29) පැවසීය.
ප්‍රවාහන හා මහාමාර්ග, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයන්හි වැය ශීර්ෂය යටතේ පැවැති විවාදයට එක්වෙමින් ඇමැතිවරයා මේ බව පැවසීය.
ඇමැතිවරයා මෙසේද පැවසුවේය.
අය වැය සම්මත වූ පසුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවැනි ණය වාරිකය ලැබෙනවා. කුමන ආණ්ඩුව තිබුණත් 1977න් පසුව මේ සියලු සංවර්ධන කටයුතු සිදු කර තිබෙන්නේ දේශීය හා විදේශීය ණයවලින්. අපි කොතරම් අකමැති වුණත් මූලික ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148 වැනි වගන්තියට අනුව රාජ්‍ය මූල්‍ය පිළිබඳ සම්පූර්ණ බලය පාර්ලිමේන්තුවට තිබෙනවා. මේ සභාව මඟින් කොතරම් කීවත් මේ අර්බුදය පිළිගත්තේ නැහැ. එදා ඉඳලාම මේ දක්වාම වර්තන ගිණුමේ අතිරික්තයක් ඇති කර ගැනීමට නොහැකි වුණා. එදිනෙදා පවත්වාගෙන යාමේ ප්‍රධාන වියදම් වන රාජ්‍ය සේවාවේ වැටුප්, විශ්‍රාම වැටුප්, රාජ්‍ය ණය සඳහා පොලී, සමෘද්ධිය ඇතුළු වෙනත් දීමනා සඳහා මුදල් වැය කළාට පසුව ආණ්ඩුව කාගේ තිබුණත් එතැනින් එහාට සතයක්වත් භාණ්ඩාගාරයේ ඉතිරි වන්නේ නැහැ. ගන්න ණය ප්‍රමාණය මදි වන විට ස්වෛරීත්ව බැඳුම්කර නිකුත් කළා. ඒකත් මදි වෙනකොට සල්ලි අච්චු ගැහුවා. රාජ්‍ය මූල්‍ය කළමනාකරණය යටතේ අපි වරද්දා ගත්තේ එතැන. සංඛ්‍යා දත්ත එක්කම විගණනය කර අවසන් වසර වන්නේ 2022 වර්ෂය. ඒ වසරේ උපරිම බදු බර ජනතාව මත පැටෙව්වා. උපරිම වශයෙන් බදු ගසා අයකර ගෙන තිබෙන්නේ රුපියල් බිලියන 1751යි. රාජ්‍ය සේවා වැටුප් හා විශ්‍රාම වැටුප්වලට රුපියල් බිලියන 1265ක් වැය කරනවා. සියයට 72ක් එය ප්‍රතිශතයක් විදියට. සමෘද්ධිය ඇතුළු සෙසු සහනාධාරවලට රුපියල් බිලියන 506යි. එකතු කර ගන්නා මුදල් වියදම් කරනවා. මේවා ගෙවා අවසන් වුණාම ආණ්ඩුවට මුදල් ඉතිරි වන්නේ නැහැ. රුපියල් බිලියන 36ක මුදලක් ණය විදියට හිරවෙලා තිබෙනවා. 36න් 12ක් පසුගිය රජය ගත් සවරින් බොන්ඩ්ස්. එය තමයි ලොකුම ප්රශ්නය. 2027 වසර වන විට 3911ක විදේශ සම්පත්වල හිඟයක් එනවා. බිලියන 329ක් ජාත්‍යන්තර අරමුදල දෙන්න එකඟතාව පළ කරනවා. බිලියන 600ක් අයවැයට දෙනවා. ලෝක බැංකුව 300ක්, ඒ.ඩී.බී. 300ක් දෙන්න එකඟතාවක් පළ කළා. මේවා ගැන නෙවෙයි ද පාර්ලිමේන්තුව කතා කළ යුත්තේ. මුදල් පිළිබඳ බලය තිබෙන්නේ පාර්ලිමේන්තුවට නම් කතා කළ යුත්තේ ක්‍රිකට් ගැන ද. සිද්ධාර්ථන් මන්ත්‍රීවරයා කීව දේ ඇත්ත.