කටුනායක ගුවන්තොටුපොළ දක්වා සංචාරකයින් පිරිසක් රැගත් බස් රථයක් ඊයේ (29) අලුයම වස්කඩුව ප්‍රදේශයේ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයකදී දුම්රියක ගැටී සිදුවූ අනතුරකින් දුම්රිය රියැදුරු සහ සංචාරකයින් දෙපොළක් තුවාල ලබා ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.
අනතුරෙන් ඇසකට තුවාල සිදු වූ දුම්රිය රියැදුරු 1990 සුවසැරියෙන් කළුතර නාගොඩ ශික්ෂණ රෝහලට රැගෙන ගිය අතර, අත්වලට සුළු තුවාල ලැබූ විදෙස් යුවළට ප්‍රථමාධාර ලබාදෙනු ලැබීය.
චෙක් රාජ්‍යය බලා පිටත්වීමට නියමිත සංචාරකයින් පිරිසක් කටුනායක බණ්ඩාරනායක අණුස්මරණ ජාත්‍යන්තර ගුවන් තොටුපොළ දක්වා රැගෙන යමින් සිටි බස් රථයක් මෙසේ අනතුරට ලක්ව ඇත.
අලුත්ගම සිට හලාවත දක්වා ගමන් කරන අංක 8304 දරන බලවේග කට්ටල දුම්රිය මෙසේ අනතුරට මුහුණපා ඇත.
වස්කඩුවේ පිහිටි ප්‍රසිද්ධ සංචාරක හෝටලයකින් සංචාරකයින් විසි දෙනෙකු රැගෙන තවත් හෝටලයක සූදානම්ව සිටි සංචාරකයින් 25 දෙනෙකු රැගෙන යාමට යමින් සිටියදී අනතුර සිදුව තිබේ. බසයේ ගමන් කර ඇති සංචාරකයින් කටුනායක බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් පෙරවරු 9.00ට පිටත්වීමට නියමිත ගුවන් යානයකට රැගෙන යන සංචාරකයින් පිරිසක් බවද සඳහන් වේ.
අනතුරෙන් බස් රථය කොටස් දෙකකට කැඩී වෙන්ව තිබූ අතර, දුම්රියේ ඉදිරිපස කොටසටද හානි සිදුව තිබුණි.
අනතුර සිදුවන මොහොතේ බස් රථයේ සංචාරකයින් 20 දෙනෙකු , රියැදුරන් දෙදෙනෙකු සහ සංචාරක මඟ පෙන්වන්නා ගමන් කර ඇති බවත්, ඔවුන් සියලු දෙනා ඉදිරිපස අසුන්වල රැඳී සිට ඇති බැවින් ජීවිත හානි සිදුව නොමැති බවත් සඳහන් වේ.
මේ පිළිබඳ අදහස් දැක්වූ බස් රථ රියැදුරු: දුම්රිය හරස් මාර්ගයේ සංඥා ලාම්පු අක්‍රියව තිබුණේ. දුම්රිය මාර්ගයේ දෙපැත්ත බලලා දැම්මා. නමුත් දුම්රිය ප්‍රධාන ලාම්පු නිවාගෙන ආවේ. හෝන් ගහන විට මම ඉක්මනින් බසය ගත්තා. ඒත් බසයේ පසුපස කොටසේ වැදුණා.
බසයේ ගමන් ගත් සංචාරකයින් පිරිස වෙනත් බස් රථයකින් කටුනායක දක්වා රැගෙන ගිය අතර, දුම්රියේ ගමන් ගත් මගීන් මරදාන බලා ධාවනය වූ වෙනත් දුම්රියක නංවාගනු ලබන අයුරු දැකගත හැකිවිය.
දුම්රිය අනතුරත් සමඟින් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ විනාඩි 45ක පමණ කාලයක් දුම්රිය ගමනාගමනය එක් මංතීරුවක මුළුමනින්ම ඇනහිට තිබූ අතර, දුම්රිය නැවත කළුතර උතුර දුම්රිය ස්ථානයට රැගෙන ගොස් ධාවනය යථා තත්ත්වයට පත්කරන ලදි.
කළුතර පාණදුර අතර සංචාරක කලාපයේ වැඩිම සංචාරකයින් ගැවසෙන වස්කඩුවේ පිහිටි මෙම අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගය ගැන බලධාරීන් දැනුම්වත් කළද කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොමැති බව ප්‍රදේශවාසීහු චෝදනා නඟති.