Friday, May 9, 2025
Home » නූලක් දාගන්න ආ කෙල්ලට හදි කළ කපුවා පොලිස් කූඩුවේ එල්ලී මැරිලා

නූලක් දාගන්න ආ කෙල්ලට හදි කළ කපුවා පොලිස් කූඩුවේ එල්ලී මැරිලා

by gayan
November 30, 2023 1:00 am 0 comment

මීගොඩ - බී.කේ. කත්‍රිආරච්චි කොට්ටාව - ප්‍රදීප් කුමාර පනාගොඩ - ඇන්ටන් ප්‍රනාන්දු

අසනීප තත්ත්වයකට ප්‍රතිකාරයක් ලෙස ශාන්තිකර්මයක් සිදු කළ යුතු බවට පවසා නිවසට ගෙන්වා ගත් තරුණියකට ලිංගික අපයෝජනයක් සිදු කළ බවට චෝදනාවක් මත අත්අඩංගුවට ගෙන සිර මැදිරිය තුළ රඳවා සිටි සැකකරුවකු නූලක් ආධාරයෙන් සිරකුටියේ දොරෙහි හරහට සවිකර තිබූ යකඩ පටියක එල්ලී ගෙල වැලලාගෙන මිය ගොස් ඇතැයි අතුරුගිරිය පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ හෝමාගම පනාගොඩ රොමියෙල් මාවත පදිංචිකරුවකු වූ 54 හැවිරිදි දෙදරු පියෙකු වන වත්තක මුරකරුවකු ලෙස සහ යකැදුරෙකු ලෙස රැකියාව කළ පුද්ගල‍ෙයකි.

මිය ගිය පුද්ගලයා විසින් ලිංගික අපයෝජනයක් සිදු කළ බවට හෝමාගම පනාගොඩ මාදෙණියවත්ත ප්‍රදේශයේ 19 හැවිරිදි තරුණියක විසින් සිදු කළ පැමිණිල්ලක් මත අතුරුගිරිය පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය මඟින් සැකකරු අත්අඩංගුවට ගෙන රැගෙන විත් පොලිස් සිර මැදිරිය තුළ රඳවා තබා සිටියදී මෙලෙස සියදිවි නසාගෙන ඇති බවද පොලිසිය පවසයි.

එම පුද්ගලයා හැඳ සිටි කලිසමෙහි තිබූ නූලක් උපයෝගී කර ගනිමින් මෙලෙස සිර මැදිරිය තුළදී ගෙල වැලලාගෙන ඇති බවත් එම අවස්ථාවේදී සිරකුටිය තුළ තවත් සැකකරුවන් දෙදෙනකු සිට ඇති බවත් පොලිසිය පවසයි.

එම අවස්ථාවේදීම ගෙල වැලලාගත් නූල කපා දමා 1990 ගිලන් රථයකින් හෝමාගම මූලික රෝහලට ඇතුළත් කළ ද ඒ වන විටත් සැකකරු මියගොස් සිටි බවද අතුරුගිරිය පොලිසියේ උසස් නිලධාරියකු පැවසීය.

පැමිණිල්ල සිදු කළ තරුණිය හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර ඇති බවත් එම තරුණියට තිබෙන අසනීප තත්ත්වයක් සඳහා යාගහෝම මඟින් ප්‍රතිකර්මයක් සිදු කිරීමට අවශ්‍ය බව පවසා එම තරුණිය මිය ගිය පුද්ගලයාගේ නිවසට රැගෙන විත් සිටියදී මෙලෙස ලිංගික අපයෝජනයට ලක්කර ඇතැයි ද මූලික විමර්ශනයේදී අනාවරණය වූ බවද පොලිසිය පවසයි.

මියගිය පුද්ගලයා සිය බිරිය සහ දරුවන් සමඟ නිදා සිටි අවස්ථාවේදී ඒ අසලම නිදා සිටි බව කියන අපයෝජනයට ලක් වූ තරුණියට මෙම ලිංගික අපයෝජනය සිදු කර ඇති බවත් පොලිසිය පවසයි.

සිද්ධිය වූ අතුරුගිරිය පොලිසියේ සිර මැදිරිය තිබෙන ස්ථානයට පැමිණි කඩුවෙල මහේස්ත්‍රාත් චාණිමා විජේබණ්ඩාර මහත්මිය විසින් මූලික මහේස්ත්‍රාත් පරීක්ෂණ කටයුතු සිදු කරන ලදි.

සිද්ධිය සම්බන්ධයෙන් අතුරුගිරිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සාරද ප්‍රනාන්දු මහතාගේ මූලිකත්වයෙන් පරීක්ෂණ පැවැත්වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT