Home » පොලිස් නිලධාරීන්ට වෙඩි තබන්න හැදූ බෝධිරාජපුර ‘කට්ටා’ අත්අඩංගුවට

පොලිස් නිලධාරීන්ට වෙඩි තබන්න හැදූ බෝධිරාජපුර ‘කට්ටා’ අත්අඩංගුවට

by gayan
November 30, 2023 1:00 am 0 comment

මීගොඩ - බී.කේ කත්‍රිආරච්චි

ස්වයංක්‍රීය ගිනිඅවියකින් පොලිස් නිලධාරීන්ට වෙඩි තැබීමට තැත් කළ බෝධිරාජපුර ‘කට්ටා‘ නමැත්තා බොරලැස්ගමුව බෝධිරාජපුර ප්‍රදේශයේ දී ජීව උණ්ඩ තුනක් ද සමඟින් ඊයේ (29) රාත්‍රියේ අත්අඩංගුවට ගත් බව බොරලැස්ගමුව පොලිසිය පවසයි.

බොරලස්ගමුව පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දල්පදාතු ඇතුළු කණ්ඩායමක් අපරාධ නිවාරණ රාජකාරියේ යෙදී සිටිය දී පොලිසිය දැක පලා යාමට තැත් කළ පුද්ගලයකු පරික්ෂා කිරීමට සැරසුණු අවස්ථාවේ දී සැකකරු සතුව තිබූ මෙම ගිනි අවිය පොලිස් නිලධාරීන් දෙසට එල්ල කර ඇති බවත් එම අවස්ථාවේ දී දැඩි පරිශ්‍රමයක් දරා පොලිස් නිලධාරීන් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවත් පොලිසිය පවසයි.

එම ස්වයංක්‍රීය ගිනි අවිය සමඟ ජීව උණ්ඩ තුනක් ද සොයා ගැනීමට හැකිව ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු තවදුරටත් සෝදිසි කිරීමේ දී සැකකරු හැඳ සිටි ඇඳුම් මේ සඟවාගෙන සිටි හෙරොයින් ග්‍රෑම් 18 යි මිලිග්‍රෑම් 200ක්ද හමු වූ බව ද පොලිසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ බෝධිරාජපුර කට්ටා යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන 48 හැවිරිදි පුද්ගලයෙකි.

සැකකරු ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

බොරලැස්ගමුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුමේධ විජය ගුණරත්න මහතාගේ උපදෙස් පරිදි අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දල්පදාතු මහතා ප්‍රමුඛ නිලධාරීහූ පරික්ෂණ පැවැත්වූහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT