Tuesday, May 13, 2025
Home » කල්පිටිය සමුප සභාපති සමිතියේ කෝටි 5ක ඉඩම තමන්ගේ නමට ලියාගෙන

කල්පිටිය සමුප සභාපති සමිතියේ කෝටි 5ක ඉඩම තමන්ගේ නමට ලියාගෙන

by gayan
November 30, 2023 1:00 am 0 comment

කල්පිටිය සමූහ - කුමාරි පද්මලතා

කල්පිටිය විවිධ සේවා සමුපකාර සමිතියේ වත්මන් සභාපතිවරයා දූෂණ හා අක්‍රමිකතා රැසක් සිදු කරමින් සිටින බවට එහි අධ්‍යක්ෂ මණ්ඩලය විසින් වයඹ ආණ්ඩුකාරවරයා ප්‍රමුඛ සමුපකාර සංවර්ධන කොමසාරිස් හා උප කොමසාරිස් වෙත ලිඛිතව දැනුම් දී ඇත. වත්මන් සභාපතිවරයා 2022.12.19 දින අධ්‍යක්ෂ මණ්ඩලය විසින් පත් කර ගන්නා ලද අතර, එවක පටන් මේ දක්වා සමුපකාර අතුරු ව්‍යවස්ථාවට පටහැණිව හා අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතියෙන් තොරව අත්තනෝමතිකව ක්‍රියා කරන බැව් අධ්‍යක්ෂ මණ්ඩලය ප්‍රකාශ කර සිටියි. මේ සඳහා නිදසුනක් ලෙස ඔවුන් පෙන්වා දෙන්නේ, සමිතියට අයත් පොදු දේපොළක් වන කෝටි 5කට වැඩි වටිනාකමකින් යුතු ඔප්පු අංක 6126 (1992.01.23 ) දරන ඉඩමේ ඔප්පුව ඔප්පු අංක 3868 (2023.04.11) වශයෙන් වෙනස් කොට සභාපතිවරයාගේ පොද්ගලික නමට හරවාගෙන ඇති බවයි. පත්ඉරු මඟින් ද ඔහු තම පෞද්ගලික අයිතිය මේ වන විට තහවුරු කරගෙන ඇති බව ඔවුහු පෙන්වා දුන්හ. වසර 12ක සභාපති ධුරය හෙබවූ කේ.එම්.ඒ. රසාක් මහතා සහ වසර 4ක සභාපති ධුරය දැරූ ඒ.ඒ. මුසම්මිල් මහතා ද ප්‍රකාශ කළේ මෙතෙක් සමුපකාර සභාපති ධුර දැරූ කිසිවකු මෙසේ තම පෞද්ගලික නමට සමුපකාර ඔප්පුව ලියාගෙන නොමැති බවයි. මෙම සභාපතිවරයා විසින් සිදු කරන ලද බොහෝ ව්‍යාපෘති අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතියෙන් තොර, ටෙන්ඩර් පටිපාටියෙන් හා පිළිගත් ක්‍රමවේදයන්ගෙන් බැහැරව සිදු කර ඇති බවට ද අධ්‍යක්ෂ මණ්ඩලය චෝදනා කර සිටී.

සමුපකාර නිල නිවාස අලුත්වැඩියාව, උත්සව ශාලාව සහිත ඉඩමේ බොරලු ඇතිරීම, උත්සව ශාලාව සඳහා පිසීම් උපකරණ මිලට ගැනීම ඊට නිදසුන් කිහිපයකි. තාක්ෂණ නිලධාරී වාර්තාව නොමැති වීම හේතුවෙන් බොරලු ඇතිරීම සඳහා වන ගෙවීම් මේ වන විට අත්හිටුවා ඇත. සහකාර කොමසාරිස්වරයාගේ ආවරණ අනුමැතිය යටතේ සිදු කරන ලද උත්සව ශාලා පිසීම් උපකරණ මිලදී ගැනීමේදී ද අක්‍රමිකතා සිදුව ඇතැයි අධ්‍යක්ෂ මණ්ඩලය චෝදනා කර සිටියි.

මේ අතර, වයඹ සමුපකාර සේවක කොමිෂන් සභාවේ විනය පරීක්ෂණයකට යටත්ව නැවත සේවයට කැඳවන ලෙස නියෝග කළ නිලධාරීන් තිදෙනකු විනය පරීක්ෂණ පැවැත්වීමට පෙරම වත්මන් සභාපතිවරයා විසින් සේවයට කැඳවනු ලැබ ඇති බවද මෙම පිරිස පෙන්වා දෙති. පසුගිය කොරෝනා සමයේ භාණ්ඩ මිලදී ගැනීමේ අක්‍රමිකතා හේතුවෙන් සහ භාණ්ඩ අඩු වීමේ චෝදනා යටතේ විනය පරීක්ෂණයකට යටත් වූ නිලධාරීනියන් දෙදෙනකු මේ වන විට ඔවුන් කලින් දැරූ තනතුරුවලම සේවයේ පිහිටුවා ඇත. හත්ලක්ෂ හැත්තෑනවදහසක මූල්‍ය වංචාවකට චෝදනා ලැබූ ප්‍රාදේශික ඉන්ධන ගබඩාවක කළමනාකරු සමුපකාර ප්‍රධාන කාර්යාලයේ කළමනාකාර සහකාර තනතුරකට පත් කිරීමට ද මෙම වත්මන් සභාපතිවරයා පියවර ගෙන ඇත.

සභාපතිවරයාගේ මෙම මූල්‍ය වංචා, අක්‍රමිකතා, සමුපකාර අතුරු ව්‍යවස්ථාව උල්ලංඝනය හා අධ්‍යක්ෂ මණ්ඩලයේ තීරණයන්ගෙන් තොරව ක්‍රියා කිරීම සම්බන්ධයෙන් අධ්‍යක්ෂ මණ්ඩලයේ සිවුදෙනකු වූ බහුතරය 2023.10.25 දින සමුපකාර සංවර්ධන උප කොමසාරිස්වරයාගෙන් විධිමත් පරීක්ෂණයක් ඉල්ලා සිටියහ. කරුණු මෙසේ තිබියදී 1972 අංක 5 දරන සමුපකාර සමිති පනතේ 60 වන වගන්තිය අනුව සමුපකාර කොමසාරිස්වරයා 2023.11.01 දින අධ්‍යක්ෂ මණ්ඩලයට තවත් සාමාජිකයන් දෙදෙනකු නම් කොට තිබිණි. මෙම සාමාජිකයන් දෙදෙනා මහ සභාවේ සාමාජිකයන් ද නොවූ අතර, මේ හේතුවෙන් එතෙක් සභාපතිවරයාට එරෙහිව අධ්‍යක්ෂ මණ්ඩලයේ පැවැති හතෙන් හතරේ සංයුතිය ද අවසන් විය. මෙම පත්වීමත් සමඟ අධ්‍යක්ෂ මණ්ඩලයේ බහුතරය නවයෙන් පහ වශයෙන් වෙනස් විය.

මෙම චෝදනා සම්බන්ධයෙන් වත්මන් සහාපති ඒ.සී.එම්. සලාහුදීන් මහතාගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ, නව ඔප්පු අංකයක් සහිතව සමුපකාරයේ ඉඩම් ඔප්පුව තම නමට ලීවේ තමාගේ පෞද්ගලික දේපොළක් වශයෙන් නොවන බවත්, තමා සභාපති ධුරයෙන් ඉවත්ව යන විට පත්වන සභාපතිට නැවත ලියන බවත්ය. තවද ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව හෝ අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතියෙන් තොරව කිසිම ව්‍යාපෘතියක් තමන් සිදු කර නොමැති බවත් කී හෙතෙම සියල්ල සිදු කර ඇත්තේ, නීත්‍යනුකූලව බවත්, අධ්‍යක්ෂ මණ්ඩලයට නව සාමාජිකයන් දෙදෙනකු ගත්තේ තමාගේ අනුදැනුමෙන් නොවන බවත් වැඩිදුරටත් කියා සිටියේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT