ශ්‍රී ලංකාවේ හා පාකිස්තානයේ සම සත්කාරකත්වයෙන් නිමාවූ දෙමුහුන් ආකෘතියේ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාවේ පැවැති තරගවලදී තමන්ට සිදුවූ පාඩුව සම්බන්ධයෙන් පාකිස්තාන ක්‍රිකට් ආයතනය ආසියානු ක්‍රිකට් සංගමයෙන් වන්දි මුදලක් ඉල්ලා සිටියි.
පාකිස්තානයේ පැවැත්වීමට නියමිතව තිබූ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ඉන්දියාවේ ඉල්ලීම මත දෙමුහුන් ආකෘතියකට පරිවර්තනය වූ අතර, මේ හේතුවෙන් තරග සංවිධානයේදී අමතර ගුවන් ගමන් ඇතුළු විශාල වියදමක් දැරීමට සිදුවූ බව පාකිස්තාන ක්‍රිකට් ආයතනය පවසයි. එබැවින් එම පාඩුව පියවා ගැනීමට ආසියානු ක්‍රිකට් කවුන්සිලයෙන් වන්දි ඉල්ලීම හැර වෙනත් විකල්පයක් නැතැයි පාකිස්තාන ක්‍රිකට් ආයතනය පවසා ඇත.
තරගාවලියේ සත්කාරක ගාස්තු ලෙස අමෙරිකානු ඩොලර් 250,000ක් පමණ පාකිස්තානයට ලැබී ඇති අතර, ප්‍රවේශපත්‍ර සහ අනුග්‍රාහක මුදලින් කොටසක් ද තරගාවලිය නිමාවීමෙන් පසු ආසියානු ක්‍රිකට් කවුන්සිලය ලබාදී ඇත. එහෙත් මුල සිටම පාකිස්තානයේ පමණක් තරග පැවැත්වීමේ සැලසුම අනුව ආසියානු කුසලාන මූලික අය-වැයට ඇතුළත් නොවූ අමතර හෝටල් ගාස්තු සහ ගුවන් ගමන් ගාස්තු ශ්‍රී ලංකාවේ තරග වෙනුවෙන් දැරීමට සිදුවූ බව පාකිස්තාන ක්‍රිකට් ආයතනය පෙන්වා දී ඇත.
“ තරගාවලිය හදිසියේම ශ්‍රී ලංකාවට රැගෙන ආ නිසා වරලත් ගුවන් ගමන් ආයතනවලින් ගුවන් යානා කුලියට ගැනීමට සිදු වුණා. ශ්‍රී ලංකාව පදනම් කරගත් සමාගමකට පාකිස්තානය සහ ශ්‍රී ලංකාව අතර ගුවන් ගමන් හතරක් සඳහා ඩොලර් 281,000ක් (රුපියල් 92120342ක්) ගෙවීමට සිදු වුණා. කණ්ඩායම් ගමන් ගත් ගුවන් යානාවල හිස් වූ ආසන ආරක්ෂක හේතුමත වෙනත් මගීන්ට ලබා දුන්නේ නෑ. මේ නිසා වියදම් ඉහළ ගියා“ පාකිස්තාන ක්‍රිකට් ආයතන නිලධාරියකු ආසියානු ක්‍රිකට් වෙත පැහැදිලි කළේය.
කෙසේ වුවද, ආසියානු කුසලාන තරගාවලියේ තරග හතරක් ශ්‍රී ලංකාවේදී පැවැත්වීම වෙනුවෙන් පාකිස්තානය සිය දෙමුහුන් මාදිලිය යටතේ එකඟ වූ බැවින් අමතර වියදම් ගෙවීමට ආසියානු ක්‍රිකට් සංගමය කැමැත්ත පළ කොට නැත. නේපාලය, බංග්ලාදේශය, ඇෆ්ගනිස්තානය හා ශ්‍රී ලංකාව පාකිස්තානයේදී තරග කළ අතර, ඉන්දියාවේ තරග ශ්‍රී ලංකාවේ පැවැත්විණි.
පසුගිය අගෝස්තු හා සැප්තැම්බර් මාසවල ශ්‍රී ලංකාවේ හා පාකිස්තානයේ සම සත්කාරකත්වයෙන් පැවැති ආසියානු ක්‍රිකට් තරගාවලියේදී ආරක්ෂක හේතූන් මත ඉන්දියාව පාකිස්තානයේ ක්‍රීඩා කිරීම ප්‍රතික්ෂේප කිරීමෙන් පසු තරගාවලිය දෙමුහුන් මාදිලියකට පැවැත්වීමට සියලු පාර්ශ්ව එකඟ වූහ.