Home » මැක්ස්වෙල් T20 වාර්තා පොත අලුතින් ලියයි

මැක්ස්වෙල් T20 වාර්තා පොත අලුතින් ලියයි

by gayan
November 30, 2023 1:00 am 0 comment

ෆවුස් මොහොමඩ්

ජාත්‍යන්තර විස්සයි20 ක්‍රිකට් ඉතිහාසයේ වාර්තා පිට වාර්තා බිහි කරමින් පෙරේදා රාත්‍රී ඉන්දියාවට එරෙහිව කඩුලු 5ක විස්මිත ජයක් ඔස්ට්‍රේලියාවට අත්කරදීමට ග්ලෙන් මැක්ස්වෙල් සමත් විය. දෙපිල අතර ගුවහාති පිටියේ පැවැති තුන්වැනි විස්සයි20 තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය පිල කඩුලු 3කට රැස් කළ ලකුණු 222ක හඹා ගිය ඔස්ට්‍රේලියානු පිලට නොතිබුණු ජයක් ගෙන දුන් මැක්ස්වෙල් නොදැවී ලකුණු 104ක් රැස් කරමින් වාර්තා රැසක් බිඳ දැමීමට ද සමත් විය. ඉන්දීය භූමියේදීම පසුගියදා නිමාවට පත් වූ එක්දින ලෝක කුසලාන තරගාවලියේදී ඇෆ්ගනිස්තානයට එරෙහිව විශිෂ්ට ද්විත්ව ශතකයකට හිමිකම් කී මේ 35 හැවිරිදි දකුණත් පිතිකරුවා පෙරේදා ගුවහාති පිටිය දෙවනත් කරමින් සිය ශතකය වාර්තා කළේ පන්දු 48කිනි. ඊට හතරේ පහර සහ හයේ පහර 8 බැගින් ඇතුළත් විය.

සියවැනි විස්සයි20 ජාත්‍යන්තර තරගයට ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි මැක්ස්වෙල් එම කඩඉමේදී ශතකයක් වාර්තා කළ ලොව පළමු හා එකම පිතිකරුවා බවට පත් වූ අතර, එම ශතකයත් සමඟ ලොව වැඩිම විස්සයි20 ශතක ප්‍රමාණයක් රැස් කරමින් ඉන්දීය පිලේ රෝහිත් ෂර්මා තබා ඇති වාර්තාව සම කිරීමට ද සමත් විය. පන්දු 47කින් ශතකය රැස් කරමින් ඔස්ට්‍රේලියාව වෙනුවෙන් වේගවත්ම විස්සයි20 ශතකය රැස් කළ ජොෂ් ඉංග්ලිස් සහ ආරොන් ෆින්ච් තැබූ වාර්තාව සම කිරීමට ද මැක්ස්වෙල් සමත් විය. ඔස්ට්‍රේලියානු ඉනිමේ අවසන් භාගයේදී ජයග්‍රහණය සඳහා පන්දු 33කින් ලකුණු 85ක් අවශ්‍යව තිබූ අතර, තවත් ඕවර කිහිපයකට පසු එය දිස් වූයේ පන්දු 12කට ලකුණු 43ක් ලෙසිනි. අවසන් ඕවරය වන විට එය පන්දු 6කට ලකුණු 21ක් වූ අතර, එය විස්සයි20 තරගයක ජයග්‍රහණය සඳහා අවසන් ඕවරයේදී ලද විශාලතම ඉලක්කය ද විය. මැක්ස්වෙල් සහ මැතිව් වේඩ් එක්ව අවසන් ඕවරයේදී හයේ පහරක් සහ හතරේ පහර 4ක් එල්ල කරමින් අවශ්‍ය ඉලක්කය සපුරා ගත්තේ අවසන් පන්දුවේදීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT