Home » රාජකීය සිසුන් ජනාධිපති ලේකම් කාර්යාලය බලන්න ඇවිත්

රාජකීය සිසුන් ජනාධිපති ලේකම් කාර්යාලය බලන්න ඇවිත්

by mahesh
December 1, 2023 1:00 am 0 comment

ශිරෝමි අබයසිංහ

කොළඹ රාජකීය විද්‍යාලයේ දේශපාලන විද්‍යා සංගමය සහ ශිෂ්‍ය පාර්ලිමේන්තුව නියෝජනය කරමින් සිසුන් 107 දෙනකු ජනාධිපති ලේකම් කාර්යාලය සහ ජනාධිපති මන්දිරය නැරඹීමට පෙරේදා (29) පැමිණ සිටි අයුරුයි මේ. ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සිසුහු සුහද පිළිසඳරක ද නිරත වූහ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයකට අනුව පාසල් දරුවන්ට ජනාධිපති ලේකම් කාර්යාලය, ජනාධිපති මන්දිරය ඇතුළු කොළඹ අවට පවතින අධ්‍යාපනික වටිනාකමක් ඇති සුවිශේෂ ස්ථාන නැරඹීමට අවස්ථාව උදාකර දී ඇත.

ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසය සහ රාජකීය විද්‍යාලය තුළින් බිහි වූ ශ්‍රේෂ්ඨ දේශපාලන නායකයන් පිළිබඳ එහිදී ජනාධිපතිවරයා විසින් සිසුන් දැනුවත් කරන ලදි.

කොල්වින් ආර්. ද සිල්වා මහතා සහ ජේ.ආර්. ජයවර්ධන මහතා කොළඹ රාජකීය විද්‍යාලයේ එකම පන්තියේ සිසුන් බවට පත්ව සිටි බව මෙහිදී සිහිපත් කළ ජනාධිපති රනිල් වික්‍රසිංහ මහතා ජේ.ආර්. ජයවර්ධන මහතා මෙරට ප්‍රථම විධායක ජනාධිපති ධුරයට පත්වීම සුවිශේෂ සන්ධිස්ථානයක් බව ද පැවසීය.

එසේම වර්තමානයේ ද ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි සිසුන් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිහිපත් කළේය.

රටේ ඉදිරි දේශපාලන නායකත්වය මෙම දරුවන් බැවින් සියලුදෙනා අධිෂ්ඨානශීලීව නිසි පරිදි සිය අධ්‍යාපන කටයුතුවල නිරත වීමේ වැදගත්කම පෙන්වා දුන් ජනාධිපතිවරයා ඔවුන්ගේ ඉදිරි අධ්‍යාපන කටයුතු වෙනුවෙන් සිය සුභාසිංසන පිළිගැන්වීය.

තරුණ කටයුතු සහ තිරසාර සංවර්ධනය පිළිබඳ ජනාධිපති අධ්‍යක්ෂ රන්දුල අබේවීර, සහකාර අධ්‍යක්ෂ (ත්‍රිවිධ හමුදා ආරක්ෂක කටයුතු සම්බන්ධීකරණ) මේජර් ඩී.ජී.එන්.පී. දන්ගොල්ල යන මහත්වරු සහ කොළඹ රාජකීය විද්‍යාලයේ ආචාර්යවරු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT