බුදු දහමට අපහාස වන ප්‍රකාශයක් සිය අනුගාමිකයන්ට පවසමින් ආගමික සංහිඳියාවට හානි කළ බවට චෝදනා එල්ල වී සිටින දේවගැති ජෙරොම් ප්‍රනාන්දුගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (30) පැය 08ක් පුරා දීර්ඝ ලෙස ප්‍රශ්න කළේය.
පෙරවරු 9.00ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනීසිටි ඔහු සවස 5.00ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටව ගියේය. මාස 06කට වැඩි කාලයක් රටින් බැහැරව සිටි ජෙරොම් ප්‍රනාන්දු පෙරේදා (29) අලුයම මෙරටට පැමිණීමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ඊයේ (30) පෙනී සිටියේ අභියාචනාධිකරණය මඟින් දී තිබුණු නියෝගයකට අනුවය.දේවගැති ජෙරොම් ප්‍රනාන්දු පසුගිය මැයි 14 වැනිදා රටින් පිටව යන්නේ ඔහු විසින් කළ බුදු දහමට අපහාස වන ප්‍රකාශය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් විමර්ශනයක් ආරම්භ කිරීමත් සමඟිනි.
බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් ඔහු පිටත්ව යන්නේ සිංගප්පූරුව බලාය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් ඔහුට එරෙහිව අධිකරණය මඟින් ගුවන් ගමන් තහනමක් ලබාගනු ලබන්නේ ඊට දින දෙකකට පසුවය.
නැවත මෙරටට ඔහු පැමිණෙන විට අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සූදානමින් සිටියත් ජෙරොම් ප්‍රනාන්දු සිය නීතිඥවරු මඟින් එම අත්අඩංගුවට ගැනීම වළක්වා ගැනීමට අභියාචනයෙන් පිහිට පැතීය. ඒ අනුව අධිකරණය මඟින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝගයක් නිකුත් කරනු ලබන්නේ මෙරටට පැමිණෙන විට ඔහුව අත්අඩංගුවට නොගන්නා ලෙසය. ඒත් සමඟ අධිකරණය ජෙරොම් ප්‍රනාන්දුට නියෝග කරනු ලබන්නේ මෙරටට පැමිණ පැය 48ක් ඇතුළත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට ගොස් ප්‍රකාශයක් ලබාදෙන ලෙසය.