පළමු පාතාල ආක්‍රමණය සඳහා අප ගොදුරු වීමේ පදනම වැටෙන්නේ 1602 වසරේදීය. පාතාලයේ නියෝජිත ස්පිල්බර්ජන් උඩරට රාජ්‍යය වෙත පැමිණ විමලධර්මසූරිය රජු හමු වන්නේ සුහද සාකච්ඡාවක් සඳහාය. ලන්දේසි යන වචනය උපදින්නේ පාතාලය, පහත්බිම යන අර්ථයෙනි. ලන්දේසි සහ රජු අතර පළමු හමුව සුහද වූයේ නමුදු එලදයිභාවයක් පළ කළේ නැත. පාතාල හෙවත් ලන්දේසි නියෝජිතයෝ මේ කාලය වන විට ‘අහිංසක ටින් – ටින්’ ජවනිකාවට පණ පෙවූහ.
1638දී ලන්දේසීන් සහ දෙවන රාජසිංහ රජු අතර ගිවිසුමක් ඇතිවිය.
අර්බුදය ඇති එකාගේ දුක, තව එකෙක් වෙත පෙනෙනුයේ නිධානයක් ලෙසය. දුක අසා තමන්ගේ ඉලක්කය වෙත ඒ මාර්ගයෙන් යෑම සඳහා සමහරෙක් අති දක්ෂයෝය. ලන්දේසීන් සිය ප්‍රයත්නය සඳහා මුළුමනින්ම ගමන් කරන ලද්දේ, මේ තියරිය ප්‍රකාරවය.
උඩරට වෙත ලන්දේසීන් කිට්ටු වූයේ ‘ටක්කෙටම’ අර්බුදය බලාය. පරංගි අක්‍රමණය වසංගතයක් සේ රට වෙළා ගනිද්දී වටේ සපෝට් එක අපට වුවමනා විය. පරංගි සමඟ මුල් කාලයේ අප සටන් වදින කල්හි, ඉන්දියාවේ සිටි සැමොරින්ගේ මුහුදු සහාය අපට ඉස්තරම් ආකාරයෙන් ලබා ගැනීමට නොහැකි විය.
මේ අවස්ථාවේ ලන්දේසි පිටියට පිවිසෙන්නේ එවන් සහායක් සඳහා වන ‘කොඩිය’ වන වනාය. 1635දී සෙනරත් රජු මලේය. අනුප්‍රාප්තිකයා ලෙස පුත්‍ර රත්නය වූ දෙවන රාජසිංහ රජ විය. හේ දැඩි පෘතුගීසි විරෝධියෙක් විය.
අප එකිනෙකාට, විටින් විටේ පාවිච්චි වන්නේ කෙසේදැයි යන්න සඳහා හොඳ උදාහරණයක් ලෙස මේ අවස්ථාව ගත හැක්කේය. අද මේ තීරුව කතා කරනුයේ ඒ ගැනය. ඉතිහාසය වනාහි මහඟු පාඩමක් වුවත්, පෙරළා ඒ දෙස බලා අප ඉගෙන ගත් දෙයක් නැත. අප වර්තමානයේ සිදු කරන්නේ ද ඉතිහාසය සඳහා පාඩම් එකතු කිරීමය.
1638 වර්ෂයේදී දෙවන රාජසිංහ රජු සමඟ ලන්දේසීන් ගිවිසුම් අත්සන් තබන ලද්දේ පරංගි පලවා හැරීම සඳහා සහාය දෙන ආකාරයෙනි. කොන්දේසි ආදිය කොළයේ අකුරු බවට පත් කර සැබෑ අභිලාෂය ඔවුහු යටි සිතේ තබා ගත්තහ, අපට හැමදාම ස්වීප් එක ඇදෙන්නේ, එදා වේල ටුවර්ස් එකට ‘මෙහෙම ළඟ බලා’ ගේම් ගැසීම තුළය. ගිවිසුමක් කියන්නේ අවබෝධය සඳහා අත්සන් තබන දෙයක් නොවේ. බැංකුවක ලෝන් එකක් සඳහා ලබාදෙන ෆෝම් එක යනු ගිවිසුමකි. අපි ඉක්මනින් ණය මුදල ගැනීම සඳහා, ඒ පැත්තෙන් කතිර දමා දෙන තැන්වල අත්සන් තබන්නෙමු. ණය ගෙවනතුරු අවුලක් නැත. වාරිකයක් දෙකක් මිස් වුණා කියන්නේ, සොරි ඩොට් කොම්ය. අර කොන්දේසි පත්තු වෙන්න ගන්නේ එතකොටය. එහෙම ඒවාට අපි අත්සන් තැබුවේද යන්න එතැන් සිට අපට ද ප්‍රශ්නයකි.
ලන්දේසී – කොන්දේසි ද ඒ ජාතියේ විය. ඒවා කැඩුවා කියා අපට අවුල් ඇති විය හැක්කේ මුත්, ලන්දේසි පාර්ශ්වය කුමක් කළ ද අපට කළ හැකි දෙයක් නැත. ලන්දේසීන් ආධාර සපයන ලද්දේ, පෘතුගීසීන් ලංකාවෙන් පලවා හැර එම ප්‍රදේශ නැවත රාජසිංහ රජුට භාර දීමට නොවේ. ඒවායේ තමන් බින්න බැස ගැනීම සඳහාය.
1638 ගිවිසුමේ වූ කලී, සහමුලින්ම ඇන්දවීමක් විය. පළමු වන වගන්තිය මඟින් සිංහලේ රජු හා වැසියෝ ලන්දේසීන් තම කුළුපග මිතුරන් ලෙස පිළිගත්හ. ගිවිසුම ප්‍රාකාරව ආරක්ෂාවේ තනි අයිතිය ලන්දේසින් සතු විය. එකම ආරක්ෂකයා ලෙස ලන්දේසි ‘බදාගැනීමේ’ නස්පැත්තිය වූයේ, පරංගි සමඟ සටන යන්නේ වුවද, ඒ සියල්ල ලන්දේසීන් වෙත අප මුලින්ම දැනුම්දීමට බැඳී සිටීමයි. රජු සහ වැසියෝ වෙළෙඳාම කළ යුත්තේ ලන්දේසි සමඟ පමණක් යන කොන්දේසියක් ද විය. ඔය කොන්දේසි සෙට් එක දැමූ කල්හි රජුට සිදු වූයේ, පුටුවට වී කරබාගෙන සිටීමය. කිරීටයේ සියල්ල අවසානයේ පාලනය කරන ලද්දේ ලන්දේසි අතිනි.
මඩකලපුව, තිරිකුණාමලය, මීගමු හා ගාලු යන ප්‍රදේශයන් එක ළඟ අත්පත් කරගත් ලන්දේසි, සිය වාණිජ සහ දේශපාලන උපක්‍රම මත ඒවා පාලනය කරන්නට පටන් ගත්හ. ගිවිසුම අප දිග හරින්නේ ලන්දේසි ඒ ප්‍රදේශ අතට ගැනීම සමඟය. අපේ කොපියේ ඇත්තේ, ‘උඩරට රජු කැමති නම් පමණක්’ පෘතුගීසි පාලනය කළ ප්‍රදේශ එසේ ලන්දේසීන් වෙත තබා ගත හැකි බවය. ලන්දේසි පිටපතේ ඒ කෑල්ල හැලී ගොස් තිබුණි. එහෙම වංගු ගසා, සිය යුද වියදම් ලෙස දරන්නට බැරි බිලක් ද ලන්දේසීහු, අප වෙත එවූහ.
බිල් එක පේ කරන තුරු, ලෙඩා නොදෙන පුද්ගලික රෝහල් සේ, ලන්දේසීන් ද අපේ ලෙඩේ තුළ අප හිරකරගෙන ‘මර්සියෙන්’ වැඩේ කරගෙන ගියහ.
ඔය ගමනේදී අපෙන් ‘ගල් කරගත්’ බඩු ලැයිස්තුවක් පෙරේදා භාර දීමට නෙදර්ලන්ත රජය කටයුතු කළේය. එහෙම සුහද ආකාරයෙන් කටයුතු කර, අපේ බඩු භාණ්ඩ භාර දීම වෙනුවෙන් නෙදර්ලන්තයට මේ තීරුව ‘බෙර්න්ඩක්ට්’ හෙවත් ස්තුතියි කියා ඩච් භාෂාවෙන් මැ කියමු.
එහෙම ලබාදීමට, සිත් දීම වනාහි අපට පැරණි අවුල් සිතින් පලවා හැර ඉදිරිය සඳහා යෑමට හොඳ ප්‍රවේශයකි. 1756 ලන්දේසීහූ, මහනුවර රාජ මාලිගාව වට කළහ. එහි වූ බඩු මුට්ටු කොල්ලකන ලද්දේ ලන්දේසි පෙරදිග ඉන්දියා වෙළෙඳ සමාගම විසිනි. එදා රැගෙන ගිය රාජකීය භාණ්ඩ එකතුවක්, කෞතුක භාණ්ඩ එකතුවක් පෙරේදා යළි සිය රට බලා පැමිණියේය. සමහර විට මෙහෙ තිබුණා නම් ඕවා කාගේ හෝ ගෙදරක තිබී, රන් බරට හෝ යකඩ බරට උණු කරන්නට ලබා දීමේ හැකියාවක් ද තිබුණි. මේ භාණ්ඩ අගනා ආකාරයෙන් සුරක්ෂිත කර අපට භාර දුන්නා සේ අපෙන් ගෙන ගිය තවත් දේ ඇත්නම් භාර දුන මැනවයි ඉල්ලීමක් ද මේ තීරුව, නෙදර්ලන්ත රජයෙන් ඉල්ලා සිටින්නේය.
බඩු ලැබුණා කියා සතුටු වී පමණක් අප සෑහීමට පත් නොවිය යුත්තේය. එහෙම කොල්ලයක් සඳහා රැවටුණු අතීතය පාඩමක් සේ ගෙන මේ මොහොතේ ද අප රැවටෙන බැවින් ඒ ගැන කල්පනාවෙන් පසු විය යුත්තේය.