Thursday, May 8, 2025
Home » ස්වයං පරීක්ෂාවෙන් ‘ඒඩ්ස්’ දැයි දැනගත හැකියි!

ස්වයං පරීක්ෂාවෙන් ‘ඒඩ්ස්’ දැයි දැනගත හැකියි!

විශේෂඥ වෛද්‍ය, මහාචාර්ය ශාලු‍ක ජයමාන්න

by mahesh
December 1, 2023 1:00 am 0 comment

අදට යෙදී තිබෙන ලෝක ඒඩ්ස් දිනය නිමිත්තෙනි.

– අනාරක්ෂිත ලිංගික හැසිරීම් හා රුධිරය මඟින් ඒඩ්ස් බෝවෙනවා
– ආසාදිතයින් හඳුනා ගන්න අද වෙනස් ක්‍රම උපයෝගී කරගන්නවා
– ලිංගික කොපු භාවිතයෙන් එච්.අයි.වී. ආසාදනය වළක්වා ගන්න පුළුවන්

වර්තමානයේ තරුණ පිරිස් අතර ඒඩ්ස් රෝගය ව්‍යාප්ත වීමේ ඉහළ අගයක් තිබෙන බව සෞඛ්‍ය අංශ පවසයි. අනාරක්ෂිත ලිංගික හැසිරීම් මෙයට ප්‍රධාන හේතුව ලෙස ඔවුහු පෙන්වා දෙති. එච්.අයි.වී ආසාදිතයකු වීමට වඩා නීරෝගි පුද්ගලයකු ලෙස ජීවත්වීම ඉතා වැදගත්ය. ඒ අනුව, එච්.අයි.වී. (ඒඩ්ස්) රෝගය සම්බන්ධයෙන් කැලණිය විශ්වවිද්‍යාලයීය වෛද්‍ය පීඨයේ වෛද්‍ය විද්‍යා අධ්‍යයන අංශයේ අංශාධිපති විශේෂඥ වෛද්‍ය මහාචාර්ය ශාලු‍ක ජයමාන්න මහතා සමඟ සිදු කළ සංවාදයකි මේ.

ඒඩ්ස් රෝගය ගැන කෙටියෙන් පැහැදිලි කළොත්?

ඒඩ්ස් රෝගය කියන්නේ එච්. අයි. වී. වයිරසය ආසාදනය වී, එම වයිරසය මඟින් අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට බලපෑමක් වෙලා ඒකෙන් ඇතිවෙන රෝග තත්ත්වයක්, ඒඩ්ස් කියලා කියන්නේ. එච්.අයි.වී. ආසාදනය වී වසර දහයක සිට පහළොවක් පමණ කාලයකට පසුව ඇති වන රෝගයේ අවසාන අවස්ථාවයි. ඒ අවස්ථාවේදි ප්‍රතිශක්තිකරණ පද්ධතියට වයිරසයෙන් ඇති වන බලපෑමක් නිසා ඌන ප්‍රතිශක්තිකරණ තත්ත්වයක් ඇති වී අසාමාන්‍ය ආසාදිත රෝග තත්ත්වයන් සහ පිළිකා රෝග තත්ත්වයන් ඇති වෙනවා. ඒඩ්ස් ලෙස හඳුන්වන්නේ මෙම රෝගයේ උච්චතම අවස්ථාවයි.

වර්තමානයේ වෛද්‍ය විද්‍යාවේ දියුණුවත් සමඟ රෝගය කලින් හඳුනා ගැනීමට එනම්, ඒඩ්ස් රෝගී තත්ත්වය ඇති වීමට බොහෝ කලින් එච්.අයි.වී. ආසාදිත තත්ත්වය හඳුනා ගැනීමේ පහසුකම් තියෙනවා. ඒ සමඟම ප්‍රතිකාර ක්‍රමවල ශීඝ්‍ර වර්ධනයක් අපට දැකගන්න ලැබෙනවා. ඒඩ්ස් රෝගය මුලින්ම හඳුනා ගැනුණේ 1981 වර්ෂය දී. පසුව 1987 වර්ෂයේ දී පමණ පළමු ඖෂධය ලියාපදිංචි කළා. එතැන් පටන් මේ රෝගය සඳහා වන ඖෂධ සහ හඳුනා ගැනීමේ ක්‍රමවල ඉතාමත් දියුණු වර්ධනයක් දක්නට ලැබුණා. දෙසැම්බර් පළමු වැනිදාට යෙදෙන ලෝක ඒඩ්ස් දිනය නම් කර තිබෙන්නේ Let Communities Lead යනුවෙනි. මෙම වසරේ බලාපොරොත්තුව වන්නේ රෝගය වළක්වා ගැනීමට පියවර ගැනීමයි.

වර්තමානයේ මෙරට තරුණ ප්‍රජාව අතර ඒඩ්ස් පැතිරීමේ ශීඝ්‍ර වැඩි වීමක් පෙන්නුම් කරනවා. එයට හේතු මොනවාද ?

එයට ප්‍රධාන හේතු කිහිපයක් තිබෙනවා. ඒඩ්ස් රෝගය බෝවීම විශේෂයෙන්ම අනාරක්ෂිත ලිංගික හැසිරීම් හා රුධිරය මඟින් සිදු වෙනවා. නමුත් වර්තමානයේ රුධිර පාරවිලයනය හරහා මේ රෝගය පැතිරෙන්නේ නැහැ. රුධිර පාරවිලයනයේදී මේ සම්බන්ධ පර්යේෂණ සිදු වෙනවා. ඒ වගේම අන්තරායකර ඖෂධ එන්නත්කරණය හරහා මේ රෝගයේ පැතිරීමක් සිදු වනවා. සාමාන්‍යයෙන් මෙම ඒඩ්ස් රෝගය සඳහා ගොදුරු වන ප්‍රධාන කණ්ඩායම් කිහිපයක් හඳුනාගෙන තිබෙනවා. ඒ අතර ලිංගික වෘත්තීන්වල නියැළී සිටින කාන්තාවන්, සමලිංගික ඇසුරේ යෙදෙන පිරිමි කණ්ඩායම්, සංක්‍රාන්ති ලිංගිකයන් සහ මත්ද්‍රව්‍ය එන්නත් කරගන්නන් විශේෂිතයි. මෙම කණ්ඩායම් අතර වැඩි වශයෙන් ආසාදිත තත්ත්වයේ ව්‍යාප්ත වීමක් අපිට දැකගන්න පුළුවන්. ඒ සමඟම එච්. අයි. වී. හඳුනා ගැනීමත් පරීක්ෂණවල වැඩිදියුණු වීමක් හා පරීක්‍ෂණ සඳහා යොමු වීමේ වැඩි දියුණු වීමක් දක්නට ලැබෙනවා. මේ හරහා රෝගීන් හඳුනා ගැනීම වැඩි වෙලා තිබෙනවා. සංඛ්‍යාත්මකව එච්.අයි.වී. රෝගීන් වැඩි වීමට මෙයද හේතුවක් වෙන්න පුළුවන්.

ඒඩ්ස් පැතිරෙන ආකාරය පිළිබඳ තවමත් ජනතාවට නිසි අවබෝධයක් නැති බවක් පේනවා. මේ සම්බන්ධව දැනුම්වත් විය යුතු කරුණු මොනවාද?

1981 වසරේ අ‍මෙරිකාවේ මෙම එච්.අයි.වී. රෝගය හඳුනා ගත් මුල් අවධියේ මෙය වැඩි වශයෙන් සම්ප්‍රේෂණය වන ආකාරය ලෙස හඳුනා ගත්තේ සමලිංගික හැසිරීම්වලින් බවයි. පසුව මෙම රෝගය රුධිරය මඟින් බෝවෙන්න පුළුවන් රෝගයක් ලෙස හඳුනා ගත්තා. ක්‍රමයෙන් මේ කාලය තුළ එච්.අයි.වී. රෝගය සම්බන්ධයෙන් විශාල බයක් ජනතාව තුළ ඇති වුණා. යම් යම් අවස්ථාවල මෙම රෝගය ආසාදනය වූවන් වෙන්කර තැබීමට යෝජනා වුණා. මෙයත් සමඟ පුද්ගලයන් එච්.අයි.වී. පර්යේෂණ සඳහා යොමු වීමට මැළිකමක් දැක්වූවා. නමුත් එම තත්ත්වයට මේ වන විට වෙනස් වෙලා තිබෙනවා. පුද්ගලයන් එච්.අයි.වී. පර්යේෂණ සඳහා යොමු වීමේ ප්‍රවණතාවක් මේ වන විට දැකගන්න තිබෙනවා. මේ රෝගය සම්ප්‍රේෂණය වන මූලික ක්‍රමය වන්නේ අනාරක්ෂිත ලිංගික හැසිරීම් සහ රුධිරය තැවරුණු එන්නත් ඉදිකටු භාවිත කිරීමයි. විශේෂයෙන්ම මෙම එන්නත් ඉදිකටු භාවිතය දක්නට ලැබෙන්නේ මත්ද්‍රව්‍ය එන්නත් කර ගන්නන් අතරයි.

ඒඩ්ස් හඳුනා ගැනීමේ ක්‍රමවල එදා සහ අද අතර වෙනස්කම් තිබෙනවාද? (කාලයත් සමඟ සහ රෝගය හඳුනා ගැනීමේ ක්‍රමවේදය)

රෝග හඳුනා ගැනීමේ ක්‍රම වර්තමානය වන විට ඉතා දියුණු මට්ටමක පවතිනවා. මීට කාලයකට පෙර එච්. අයි. වී. ආසාදිතයින් හඳුනා ගැනීමට භාවිත කළ ක්‍රමවලට වඩා වර්තමානයේ වෙනස් ක්‍රම උපයෝගී කරගනු ලබනවා. එච්.අයි.වී. පරීක්ෂණය සඳහා රැපිඩ් ටෙස්ට් (ක්‍ෂණික පරීක්‍ෂණ) භාවිත කරනවා. රැපිඩ් පරීක්ෂණවල ප්‍රතිඵල සාමාන්‍යයෙන් විනාඩි 20ක් ඇතුළත ලබා ගන්නට පුළුවන්. ඊට අමතරව self tes t හරහා තමාටම, තමන්ට එච්.අයි.වී. ආසාදනය වෙලාද කියලා බලාගන්න පුළුවන්. එම පරීක්ෂණය මුඛයෙන් ලබා ගන්නා සාම්පලයක් හරහා සිදු කර ගැනීමේ හැකියාව තිබෙනවා. රෝගය හඳුනා ගැනීමත් සමඟම ප්‍රතිකාර කිරීමේ නව ක්‍රමවේදයකුත් තිබෙනවා. මේ නිසා අපි විශේෂයෙන්ම අවධානය යොමු කළ යුතු කාරණාව වන්නේ යම්කිසි පුද්ගලයෙකුට තමන්ට එච්. අයි.වී. ආසාදනය වී තිබෙනවා කියලා සැකයක් ඇතිවෙනවා නම්, ඔහු යම්කිසි ආකාරයකට අනාරක්ෂිත ලිංගික හැසිරීමක නියැළී සිටිනවා නම්, සැක සහිත මත්ද්‍රව්‍ය භාවිත කිරීමකදී එකම එන්නතකින් එම මත්ද්‍රව්‍ය එන්නත් කර ගත්තේ නම් එවැනි යම්කිසි ආකාරයක සැකයක් තිබෙනවා නම් ඕනෑම ඒඩ්ස් සායනයකට ගිහින් තමන්ගේ තත්ත්වය පැහැදිලි කර එම පරීක්ෂණවලට යොමු වෙන්න පුළුවන්. නැත්නම් තමන්ට Self tes ting කර ගන්න පුළුවන්. කාලයක් තිස්සේ අපි එච්.අයි.වී. හඳුනා ගැනීමට භාවිත කළ Antigen tes t අමතරව Anti body tes t හඳුන්වා දී තිබෙනවා. එම පරීක්‍ෂණ හරහා ඉතා ඉක්මනින් මෙම රෝගය හඳුනා ගැනීමේ හැකියාව තිබෙනවා.

තමන්ට එච්. අයි. වී. ආසාදනය වී ඇති බව දැන ගැනීමේ රෝග ලක්ෂණ මොනවාද ?

එච්. අයි. වී. වයිරසයක් ශරීරගත වුණු ගමන් කිසිම රෝග ලක්ෂණයක් පහළ වන්නේ නැහැ. පළමු රෝග ලක්ෂණ දැකගන්න ලැබෙන්නේ මුල් මාස දෙකක් හෝ තුනකට පසුවයි. සාමාන්‍ය උණක් වගේ මුලින්ම ඇති වෙනවා, සමේ චර්ම ආසාදනයක් ඇතිවීම, වසා ගැටිති ඉදිමීම, උදරයේ වේදනාව සාමාන්‍ය වයිරස් රෝගයක තිබෙන ලක්ෂණ තමයි මුලින් මතු වෙන්නේ. යම් ආකාරයකින් එච්. අයි. වී. වයිරසයට නිරාවරණය වීමක් සිදු වුණා නම්, එම අවස්ථාවේදී හඳුනා ගැනීමේ පරීක්ෂණයක් සිදු කර ගත යුතුයි. රෝග ලක්‍ෂණ පෙන්වන තුරු බලාසිටීම අවදානම්. අපට දැන් තිබෙන පහසුකම් අනුව ඉතා ඉක්මනින් මෙම පරීක්ෂණ සිදු කර ගැනිමට පුළුවන්. එම පරීක්ෂණය කර ගැනීමේ වැදගත්කමකුත් තිබෙනවා. අපි යම් ආකාරයක අනාරක්ෂිත ලිංගික හැසිරීමකට නිරාවරණය වීමක් සිදු වුවහොත් අපිට පුළුවන් ඖෂධ අරගෙන ශරීර ගත වීම වළක්වා ගන්න (Pos t exposure prophylaxis) අපි යම්කිසි ආකාරයකට එච්. අයි. වී වලට නිරාවරණය වීමක් වුණා කියලා පරීක්ෂණයේදී දැන් වුව හොත් එම සායනයෙන් ඖෂධ රැගෙන එච්. අයි. වී. ආසාදනය වීමෙන් අපේ ශරීරය ආරක්ෂා කර ගන්න පුළුවන්. යම්කිසි කෙනෙකුට යම් සැකයක් තිබෙනවා නම් එම පරීක්ෂණයට යොමු වීම කළ යුතුමයි.

මේ සඳහා නිසි ප්‍රතිකාරවලට යොමු විය යුත්තේ කොහොමද ? ඒ පිළිබඳව දැනුම්වත්භාවය ලබා ගන්නේ කොහොමද ?

1997 වසරෙන් පසුව මෙම එච්.අයි.වී. රෝගයට තිබුණ බය අඩු වීමට පටන් ගත්තා. මොකද 1997 න් පසුව එච්. අයි. වී. රෝගයට ගැළපෙන ප්‍රතිකාර ක්‍රමය සොයා ගත්තා. 1987 සිට විවිධ ප්‍රතිකාර ක්‍රම පැමිණියත් 1997 දී මෙම ප්‍රතිකාර ක්‍රමය සොයා ගැනීම තමයි මෙහි සන්ධිස්ථානය වෙන්නේ. එදා සිට මේ දක්වා ක්‍රමක්‍රමයෙන් මෙම ප්‍රතිකාර ක්‍රමය වැඩිදියුණු වුණා. එච්. අයි. වී. වයිරසය හඳුනා ගත් අවස්ථාවේදීම එයට අවශ්‍ය ප්‍රතිකාර ලබා දෙනවා. ඒඩ්ස් කියන්නේ එච්. අයි. වී. වයිරසය ආසාදනය වෙලා අවුරුදු දහයක්, පහළොවක් ගත වුණාට පස්සේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය අකර්මණ්‍ය වීමයි. එච්. අයි. වී. වයිරසය ශරීරගත වී ඇති බව දැනගත් වහාම ප්‍රතිකාර ලබා ගැනීමෙන් මෙම තත්ත්වය වළක්වා ගත හැකිය. ආසාදිත තත්ත්වය හඳුනාගත් මෙහොතේ සිටම ප්‍රතිකාර ගැනීම වැදගත් වෙනවා. වර්තමාන ලෝකයේ මිලියන 39කට පමණ එච්. අයි. වී. ආසාදනය වෙලා තිබෙනවා. එයින් මිලියන 29කට ඖෂධ ලබා දෙනවා. අප්‍රිකාව වගේ දුෂ්කර ප්‍රදේශවල සිටින පිරිස්වලට පමණයි මෙම ඖෂධ ළඟා නොවන්නේ. එවැනි පුද්ගලයින් මිලියන 10ක් පමණ ලෝකයේ සිටිනවා. ඒඩ්ස් රෝගය පැහැදිලිවම සුව කළ නොහැකි නමුත් එච්.අයි.වී. රෝගයෙන් ඇති වන සංකූලතා සියල්ල මර්දනය කරගෙන ඉදිරියට යන්න පුළුවන්. ඒ හරහා ඔවුන්ගේ ආයු කාලය සාමාන්‍ය පුරවැසියෙකුගේ ආයු කාලයට සමාන ආයු කාලයකට යා හැකියි. මේ රෝගය වසන් කිරීමෙන් කිසිම පලක් නැහැ. ඔබට රෝගය වැලඳිලාද කියලා දැනගන්න එක ඉතා වැදගත්. ඒ දැනගැනීමත් සමඟ ඔබට දීර්ඝ කාලයක් සාමාන්‍ය ජීවිතය ගත කිරීමේ අවකාශ තිබෙනවා. එච්.අයි.වී ආසාදනය වූ පුද්ගලයෙකුට තිබෙන තවත් ප්‍රධාන ගැටලු‍වක් තමයි තමන් සමඟ ලිංගිකව හැසිරෙන පුද්ගලයෙකුට මේ රෝගය බෝවෙන්න පුළුවන් කියන එක. ඔවුන් ඒ සම්බන්ධයෙන් දැනුම්වත් විය යුතුයි. ලිංගාශ්‍රිත ක්‍රියාකාරකම්වලදී කොන්ඩම් භාවිත කිරීමට අපි නිර්දේශ කරනවා. එම ලිංගික කොපු භාවිතයෙන් එච්. අයි. වී. ආසාදනය වීම වළක්වා ගන්න පුළුවන්. එය ඉතා වැදගත්. ඖෂධ ලබා ගැනීම මඟින් ශරීරයේ තිබෙන වයිරස් ප්‍රමාණය ඉතාම අවම මට්ටමකට ගේන්න පුළුවන්. එසේ ගෙන ආ පුද්ගලයෙක් සමඟ අනාරක්ෂිත ලිංගික ඇසුරක් පැවැත්වුවත් ඔහුගෙන් එච්. අයි. වී. රෝගය තව කෙනෙකුට බෝවෙන්නේ නැහැ. මෙහිදී ඉතා වැදගත් වෙන්නේ ඔබට එච්. අයි. වී. රෝගය තිබෙනවාද කියා ඉක්මනින් හඳුනා ගැනීම සහ එම සායනවලට යොමු වෙලා ඖෂධ ලබා ගෙන ඔබේ ජීවිතය ආරක්ෂා කර ගැනීමයි එසේම එමඟින් ඔබේ සහකරුවාගේ ජීවිතයත් ආරක්ෂා වෙනවා.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT