සාගරයේ සුළං හමන දිසාව සහ එහි වේගය ඇතුළු කාලගුණික තත්ත්වයන් පිළිබඳ තොරතුරු විසි හතර පැයේම ධීවරයන්ට දැනගැනීමට හැකි ‘සයුරු’ නවතම මෘදුකාංගය (app) ඩයලොග් ආයතනයෙන් හඳුන්වාදීම ධීවර ඇමැති ඩග්ලස් දේවානන්දා මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (28) දික්ඕවිට ධීවර වරායේදී සිදු කෙරිණි.
මේ මෘදුකාංගය හරහා ධීවරයන්ට තොරතුරු දැන ගැනීමට ඩයලොග් ආයතනය සමඟ ධීවර දෙපාර්තමේන්තුව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සහ ආපදා කළමනාකරණ ආයතනය සම්බන්ධ වී කටයුතු කරයි. දවසේ පැය විසි හතරෙදීම ධීවර කාර්මිකයන්ට කාලගුණ තොරතුරු දැන ගැනීමට සැලැස්වෙන මේ මෘදුකාංගයෙන් ධීවර ජනතාවට තම රැකියාව කරගෙන යෑමට මහඟු රුකුලක් හිමිවේ.
මේ අවස්ථාවට එක්වෙමින් ධීවර ඇමැතිවරයා මෙලෙස ප්‍රකාශ කළේය.
“මේ මෘදුකාංගය නිකුත් කිරීම පිළිබඳව දැනුම්වත් කිරීමට පැමිණි ඩයලොග් නියෝජිතයන්ගෙන් මම ඉල්ලා සිටියේ මුහුදේ මසුන් ගැවසෙන ස්ථාන පිළිබඳව තොරතුරු කල් ඇතිව ධීවරයන්ට දැනගැනීමට අවශ්‍ය වැඩපිළිවෙළක් සකස් කරන ලෙසයි. ඒ පිළිබඳව අවධානය යොමු කොට හැකි ඉක්මණින් මේ සඳහා වැඩපිළිවෙළක් සකස් කරන බවට මට ඩයලොග් ආයතනය පොරොන්දු වුණා.
ධීවර ජනතාවට පවතින ඉන්ධන ගැටලුව සහ ධීවර උපකරණ මිල ඉහළ යෑම ආදී සියලු ප්‍රශ්න මා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දී තිබෙනවා. එතුමා මේ සඳහා කඩිනම් විසඳුම් දෙයි.”