Home » 2024 පළමු කාර්තුවේදී ආර්ථික ස්ථාවරත්වය තහවුරු වෙනවා

2024 පළමු කාර්තුවේදී ආර්ථික ස්ථාවරත්වය තහවුරු වෙනවා

by mahesh
December 1, 2023 1:00 am 0 comment

මහින්ද අලුත්ගෙදර

බංකොලොත්භාවයෙන් මිදුණු ශ්‍රී ලංකාව 2024 වසරේ පළමු කාර්තුවේ විනිවිදභාවය සහ ආර්ථික ස්ථාවරත්වය තවදුරටත් තහවුරු වනු ඇතැයි මුදල් රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ මහතා විශ්වාසය පළ කරයි.

රාජ්‍ය ඇමැතිවරයා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයෙන් සංවිධාන කළ සම්මන්ත්‍රණයකට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය ඇමැතිවරයා මෙලෙස ද කීවේය.

“ආර්ථික අර්බුදය හමුවේ රජය ගත් ජනප්‍රිය නොවන තීරණවල ධනාත්මක ප්‍රතිඵල 2024 මුල් කාර්තුවේදී ජනතාවට ලැබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකමේ දෙවැනි වාරිකය නුදුරේදීම හිමි වෙනවා. ඒ අනුව ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව තවදුරටත් ශ්‍රී ලංකාවට ණය පහසුකම් දීමට නියමිතයි. එමඟින් දැනට අතරමඟ නවතා දමා ඇති සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කිරීමට හැකි වෙනවා.

විදේශීය ණය හිමි පාර්ශ්ව ප්‍රතිව්‍යුහගතකරණයට කැමැත්ත පළ කිරීම, ශ්‍රී ලංකාව ලබාගත් ජයග්‍රහණයක්. ඒ සම්බන්ධයෙන් අදාළ රටවලට මගේ කෘතඥතාව පළ කරනවා. ඒ අනුව ලබන වසරේ මුල් කාර්තුව මෙරට ජනතාවට වඩාත් හිතකර ප්‍රතිඵල ලැබෙනු ඇති. පාර්ලිමේන්තුවෙන් සම්මත කිරීමට යෝජිත අණ පනත් ද ඊට හේතු වෙනවා.

විනිවිදභාවය සහ මූල්‍ය විනය ශක්තිමත් කිරීමට රජය දැනටමත් පියවර රැසක් ගෙන තිබෙනවා. රජයේ වැඩපිළිවෙළ පිළිබඳ විවේචන ඉදිරිපත් කරන කිසිදු පාර්ශ්වයක් ප්‍රායෝගිකව විසඳුම් ඉදිරිපත් කිරීමට අපොහොසත්ව තිබෙනවා. ඒ අනුව රජය ගමන් කරන්නේ නිවැරැදි මාවතේ බව ඕනෑම පාර්ශ්වයකට අවබෝධ කරගැනීමට හැකියි.”

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT