මෙවර මහ කන්නයේදීත් බඩඉරිඟු වගාව සේනා දළඹු හානියේ බලපෑමට ලක්වෙමින් පවතින බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අනාවරණය කර ඇත.
මෙවර මහ කන්නයේදී කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ඇති SAPP හෙවත් කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සහභාගිත්ව ව්‍යාපෘතිය යටතේ අම්පාර, අනුරාධපුර, බදුල්ල, මොනරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල අක්කර 40,000ක බඩඉරිඟු වගාව සිදු කර තිබේ. තවත් දිස්ත්‍රික්ක ගණනාවක බඩඉරිඟු වගාව පුළුල් මට්ටමින් සිදු කර තිබේ.
මේ අනුව වහාම සේනා දළඹු හානිය පාලනයට ගත යුතු පියවර සම්බන්ධව ගොවි ජනතාව දැනුම්වත් කිරීමට පියවර ගන්නැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ඇතුළු වගකිවයුතු ආයතනවල නිලධාරින්ට උපදෙස් දී ඇත.
සේනා දළඹු හානිය පාලනයට ගත යුතු පියවර සම්බන්ධව වැඩිදුර තොරතුරු කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ උද්‍යාන භෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ දුරකතන අංක 081- 2388011 ඇමැතීමෙන් ගත හැකිවේ.
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සඳහන් කරන පරිදි බඩඉරිඟු වගාවේ මුල් අවදියේ මේ හානියට පාත්‍ර වන වගා විනාශ වී යා හැකි බැවින් බීජ සිට වූ දින සිට වගා සුපරීක්ෂාව ඉතා වැදගත් වේ. වගාවට දින 2ක් 7ක් වන විට පත්‍ර මත සුදු පැහැති විනිවිද පෙනෙන පටලයක් වැනි ලප ලෙස බිත්තර කැදලි දැකිය හැකි අතර, මේ අවස්ථාවේ ඒවා අතින් ඉවත් කිරීම මඟින් වගාවට සිදු වන හානිය වළක්වා ගත හැකිය.
බිත්තරවලින් පිටවන දළඹුවන් ගොබය තුළට ඇතුළුවී පත්‍ර ගොබයට සහ පත්‍රවලට හානි සිදු කරයි. මෙහිදී කොහොඹ බීජ නිස්සාරකය ගොබයට ඉසීමෙන් හානිය පාලනය කළ හැකිය. වගාව පරීක්ෂා කිරීමේදී පඳුරු 100කට 13-20 පමණ හානිවී තිබේ නම් මර්දන ක්‍රම භාවිත කළ යුතුය.
මීට අමතරව වගාවේ මුල් අවස්ථාවේ පෙරමෝන උගුල් භාවිතය, බිත්තර පරපෝෂිතයින් යෙදීම, වයිරස් යෙදීම වැනි ජෛව පාලන ක්‍රම භාවිත කිරීම පරිසර හිතකාමීය. කෙසේ වෙතත් මේ පලිබෝධ හානි පාලනයට ළඟම පිහිටි ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙත ගොස් කෘෂිකර්ම උපදේශක වෙතින් උපදෙස් ගන්නා ලෙස කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ගොවි ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.