නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේ අරමුණ දරුවන් පාසල් තුළ වයස්ගත වීම අඩු කරමින් ඔවුන්ට අධ්‍යාපන මට්ටම්වල ඉදිරියට යෑමේ වැඩි අවස්ථාව සැලසීම යැයි අධ්‍යාපන ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ප්‍රකාශ කළේය. ඔහු මේ අදහස් පළ කළේ SLANSHEI (SriLanka Association of Non-state. Higher Education Institutes) ආයතනයේ මූලිකත්වයෙන් පැවති ජාතික උසස් අධ්‍යාපන සම්මේලනයට ප්‍රධාන ආරාධිතයා ලෙස එක් වෙමිනි.
අධ්‍යාපනය යාවත්කාලීන නොවුණ හොත් දරුවන් උසස් පෙළ අත්හැර වෙනත් විකල්ප තෝරාගැනීමට යොමු වීම වැළැක්විය නොහැකි බවත්, අධ්‍යාපන ක්ෂේත්‍රයේ නිරත සියලු දෙනා මේ පිළිබඳ අවබෝධයෙන් වගකීම්සහගතව හා අවධානයෙන් කටයුතු කළ යුතු බවත් ඇමැතිවරයා මෙහිදී පැවසුවේය. පාසල්වල සේවය කරන සංවර්ධන නිලධාරීන්ට ගුරුපත්වීම් පිරිනැමීමට විභාගයක් පවත්වා සම්මුඛ පරීක්ෂණ මඟින් ඒ සඳහා පියවර ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය සූදානම් වූ බවත්, එහෙත් ඔවුන් අතරින් පිරිසක් විභාග පැවැත්වීමට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කර උසාවියේ නඩු පැවරීම නිසා ඒ විභාගය අත්හිටුවූ බවත්, මාස නවයක් පුරා ඒ පෙත්සම් විභාග වෙමින් පවතින බවත්, අධිකරණ තීන්දු ලැබුණු වහා ගුරුසේවා ව්‍යවස්ථාවට අනුකූලව ඔවුන් ගුරු සේවයට ඇතුළත් කරගැනීමට පියවර ගන්නා බවත් ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.