Saturday, May 10, 2025
Home » වැලිකන්ද – සිංහපුර පාර මුතුවැල්ලේදී 80ක් රැගත් බසයක් පෙරළෙයි

වැලිකන්ද – සිංහපුර පාර මුතුවැල්ලේදී 80ක් රැගත් බසයක් පෙරළෙයි

by mahesh
December 1, 2023 1:00 am 0 comment

සිරිපුර - මදුශානි අබේසිංහ, ඇළහැර - සරත් වෙලගෙදර

40ක් රෝහලේ 4ක් දැඩි සත්කාරයේ
වේගය පාලනය කරගනු බැරිව බසය පාරෙන් පිට පැන්නා
– තුවාල ලත් මඟී කාන්තාවක්

බීමත්ව රිය පැදවීම, අධික වේගය, අපරීක්ෂාකාරි ධාවනය බඳු විවිධ කරුණු හේතුවෙන් රථ රථවාහන අනතුරට ලක් වී ජීවිතවලින් වන්දි ගෙවනවා සේම තුවාල ලබා සදාකාලික ආබාධිත තත්ත්වයට පත් වන ඇසෙන වාර ගණන දැන් දැන් ඉතා අධිකය. පොලොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රධාන මාර්ගයේ මුතුවැල්ල ප්‍රදේශයේදී ඊයේ (30) පෙරවරු 7.30ට පමණ පෞද්ගලික බස් රථයක් පාරෙන් ඉවතට පැන සිදු වූ එවන් තවත් අනතුරකින් 40කට ආසන්න සංඛ්‍යාවක් තුවාල ලබා, වැලිකන්ද හා පොලොන්නරුව මහ රෝහලට ඇතුළත් කර මේ වන විටත් ප්‍රතිකාර ගනිමින් සිටිති.

මේ අනතුරටද හේතු වී ඇත්තේ රියැදුරුගේ අධික වේගය සහ නොසැලකිලිමත් රිය ධාවනය බව මේ පිළිබඳ පරීක්ෂණ සිදු කරන වැලිකන්ද පොලිසියේ වැඩබලන ස්ථානාධිපති (පො.ප) ප්‍රදීප් සෙනෙවිරත්න මහතා අප කළ විමසීමකදී සඳහන් කළේය. අනතුර කිරීම සම්බන්ධයෙන් බස්රථයේ රියැදුරු අත්අඩංගුවට ඊයේ (30) පොලොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ බවද වැලිකන්ද පොලිසිය සඳහන් කරයි.

මෙලෙස අනතුරට ලක් වූයේ වැලිකන්දේ මහසෙන්පුර ප්‍රදේශයේ සිට සිංහපුර ප්‍රදේශයේ පෞද්ගලික සහල් මෝල් ව්‍යාපාරයක සේවය කරන සේවක පිරිසක් රැගෙන එමින් සිටි බස් රථයකි. තුවාල ලැබූ 40න් 4 දෙනෙකු පොලොන්නරුව මහරෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින අතර, තුවාල ලැබූවන් අතර කාන්තාවන් 36 දෙනකු සහ පිරිමි පුද්ගලයන් 4 දෙනකු වන බව පරීක්ෂණ සිදු කරන වැලිකන්ද පොලිසිය සඳහන් කරයි. අනතුර සිදු වන විට බස්රියේ 80කට ආසන්න පිරිසක් ගමන් කරමින් සිටි ඇති අතර, බසයේ වේගය පාලනය කිරීමට නොහැකිව පාරෙන් ඉවතට පැන බෑවුමකට පෙරළීම නිසා තවත් කිහිප දෙනෙකු සුළු තුවාල ලබා වැලිකන්ද සහ පොලොන්නරුව රෝහල්වලින් ප්‍රතිකාර ගෙන නිවෙස බලා පිටව ගොස් ඇති අතර, 20කට ආසන්න සංඛ්‍යාවක් තුවාල නැතිව බේරී ඇති බවද පොලිසිය සඳහන් කරයි. තුවාල ලබා ඇත්තේ මහසෙන්පුර, කුරුළුබැද්ද, වැලිකන්ද, කාලිංගවිල,මගුල්දමන, නාමල්ගම, අසේලපුර, රුවන්පිටිය ඇතුළු ඒ අවට ගම්මානවල පදිංචි පිරිසකි.

අනතුර සිදු වීමත් සමඟ වහා ක්‍රියාත්මක වූ වැලිකන්ද පොලිසිය සහ වැලිකන්ද මෙන්ම පොලොන්නරුව මහ රෝහලේ වෛද්‍යවරුන්, ගිලන් රථ රියැදුරන්, හදිසි දුරකතන ඇමතුම් අංශයේ රියැදුරන් ඇතුළු සෞඛ්‍ය අංශ අනතුර සිදු වූ ස්ථානයට ගොස් වහා රෝගීන් ගෙන වැලිකන්ද හා පොලොන්නරුව රෝහල්වලට ඇතුළත් කර කඩිනමින් ප්‍රතිකාර කිරීමට කටයුතු කළහ.

“අපි මහසෙන්පුර ඉඳලා බස් එකෙන් යන කොට ඒ වෙලාවේ ටිකක් වැස්ස වගේ. වෙලාව පරක්කු වෙලා නිසා රියැදුරු මහත්තයා වේගයෙන් යන්න පටන් ගත්තා. එකපාරටම බස් එක පාරෙන් ඉවතට පැනලා, දඩෝං ගාලා ගහක වැදිලා ගහත් කඩාගෙන බෑවුමකට පෙරළුණා වගේ මට දැනුණා. කට්ටිය හෝ ගාලා කෑගහන්න පටන් ගත්තා. අවට කට්ටියත් දුවගෙන ආවා ටික වෙලා වෙලාවක් යද්දි අපිව බේරගන්න ගොඩක් කට්ටිය ඇවිත් හිටියා. ඊට පස්සේ ගිලන් රථවලින් අපව පටවාගෙන වැලිකන්ද රෝහලටත්, පොලොන්නරුව මහා රෝහලටත් අරන් ගියා. ගොඩක් කට්ටියට තුවාල වුණා. අපට සුළු තුවාල වෙලා බේරුණා. බස් එකෙන් ඉස්සරෝම කෑගහන කට්ටිය උඩට ගත්තා. කිසිම ජීවිත හානියක් සිදු නොවී ලොකු අනතුරකින් අපි බේරුණේ අපේ වාසනාවට…” අනතුරට ලක්ව සුළු තුවාල ලබා රෝහලෙන් පිටව ගිය පෞද්ගලික සහල් ව්‍යාපාරික සමාගමේ සේවිකාවක් අප සමඟ

එසේ පැවසුවාය.

මේ අනතුර සම්බන්ධව පොලොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිශාන් ද සිල්වා මහතාගේ උපදෙස් පරිදි, වැලිකන්ද ප්‍රදේශය භාර සහකාර පොලිස් අධිකාරි සුදත් අස්මඩල මහතාගේ මෙහෙයවීමෙන්, වැලිකන්ද වැඩබලන පොලිස් ස්ථානාධිපති (පො.ප) ප්‍රදීප් සෙනෙවිරත්න මහතා ඇතුළු පොලිස් නිලධාරීහු කණ්ඩායමක් වැඩිදුර පරීක්ෂණ සිදු කරති.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT