වවුනියාව සෙට්ටිකුලම නගරයේ වෙළෙඳසලක් පිටුපස කාමරයක මියගොස් සිටි අඹු සැමි යුවළකගේ මළ සිරුරු පොලීසිය විසින් ඊයේ (30) සොයාගෙන තිබේ.
මේ අඹුසැමි යුවළ සිය පුතා සමඟ සිල්ලර වෙළෙඳසලක් පවත්වා ගෙන ගොස් ඇති අතර, දිනපතාම රාත්‍රියට වෙළෙඳසල වසාදැමීමෙන් පසු වෙළෙඳසල පිටුපස කාමරයේ නිඳාගැනීම සිරිතක් කොට ගෙන තිබේ. පුතා රාත්‍රියේ වෙළද සැල වසා දමා නිවසට ගොස් නිදා සිට පසුදින අලුයම වෙළෙඳසල විවෘත කිරීමෙන් පසු සිය පියාගේ හා මවගේ මළ සිරුරු දෙක දැක ඒ බව සෙට්ටිකුලම පොලිසියට දැනුම් දී ඇත.
පොලිසිය වහා පැමිණ මළ සිරුරු පරීක්ෂා කොට බැලීමේදී ඔවුන් දෙදෙනා කිසියම් ආයුධයකින් කපා කොටා ඝාතනය කොට ඇති බවට සලකුණු හමු වී ඇති අතර අවට ප්‍රදේශයේ කළ සෝදිසියකදී මළ සිරුරු අසලම තිබී ලේ තැවරුණු උල් පිහි තුනක් පොලිසියට සොයාගැනීමට හැකි වී තිබේ.
මියගොස් ඇත්තේ සෙට්ටිකුලමේ පදිංචි 72 හැවිරිදි පසුපති වර්ණකුලසිංහම් සහ ඔහුගේ බිරිය වන 68 හැවිරිදි චෙට්ටිකුලම් ප්‍රදේශයේ පදිංචි කනකලක්ෂ්මි යන දෙදෙනා බවට හඳුනාගෙන ඇත.
සිද්ධිය වූ ස්ථානයට පොලිස් සුනඛයන් රැගෙනැවිත් සෙට්ටිකුලම පොලිසිය පරීෂණ ආරම්භ කොට තිබේ. සැකකරුවන් කිසිවකුත් මේ දක්වා අත්අඩංගුවට ගෙන නැත. යුවළ නැවතී සිටි කාමරයේ තිබූ පවුම් පහකට මඳක් වැඩි ස්වර්ණාභරණ කීපයක් අතුරුදන් වී ඇති බව පුතා පොලිසියට ප්‍රකාශ කොට ඇත. මළ සිරුරු පශ්චාත් මරණ පරීෂණ කටයුතු සදහා සෙට්ටිකුලම රෝහලට රැගෙන ගොස් ඇති අතර, සෙට්ටිකුලම පොලිසිය පරීක්ෂණ පවත්වාගෙන යයි.