පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම සඳහා මැතිවරණ කොමිසම විසින් දින නියම කර තිබියදී මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් රාජ්‍ය වියදම් පාලනය කිරීම සඳහා චක්‍රලේඛයක් නිකුත් කිරීමෙන් මැතිවරණ කටයුතුවලට බාධා පැමිණි බවට ජනාධිපති නීතිඥ නයිජල් හැච් මහතා ඊයේ (30) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කළේය. එමඟින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කර තිබෙන ජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බව ඒ මහතා පැවසීය.
ඉකුත් මාර්තු මස 9 දා පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන ඡන්ද විමසීම නොපැවැත්වීමෙන් මහජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් දෙන ලෙස ඉල්ලා ජාතික ජන බලවේගය ගොනු කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් වෙනුවෙන් කරුණු ඉදිරිපත් කරමින් ජනාධිපති නීතිඥවරයා මේ බව කියා සිටියේය.
අගවිනිසුරු ජයන්ත ජයසූරිය, විජිත් මලල්ගොඩ, මුර්දු ප්‍රනාන්දු, ගාමිණි අමරසේකර සහ යසන්ත කෝදාගොඩ යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල ඉදිරියේ මේ නඩු විභාගය පැවැත්විණි.
මෙහිදී පෙත්සමක් ඉදිරිපත් කර තිබූ ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි ආචාර්ය හරිනි අමරසූරිය සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නයිජල් හැච් මහතා සඳහන් කළේ මැතිවරණයක් ප්‍රකාශයට පත් කර තිබෙන කාලසීමාවේ මැතිවරණ කොමිසම විසින් නිකුත් කරනු ලබන විධානයන්ට අවනතව කටයුතු කිරීමට සියලු රාජ්‍ය සේවකයින් බැඳී සිටින බවය.
පළාත්පාලන මැතිවරණයපැවැත්වීමට අවශ්‍ය මුදල් අයවැය මගින් වෙන් කර තිබූ බව ඒ මහතා සඳහන් කළේය. එසේ තිබියදී පසුගිය පළාත් පාලන මැතිවරණය සඳහා දින නියම කළ පසු අමාත්‍ය මණ්ඩලයේ තීරණ මත රාජ්‍ය වියදම් පාලනය කිරීම සඳහා මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් චක්‍රලේඛය ක් නිකුත් කළ බව ඔහු සඳහන් කළේය.
අදාළ චක්‍රලේඛයට අනුකූලව කටයුතු නොකරන රජයේ නිලධාරීන්ට එරෙහිව පියවර ගන්නා බවද එහි සඳහන් බව ඒ මහතා කීය. පැවැත්වීමට නියමිත පළාත් පාලන ඡන්ද විමසීම් කටයුතුවලට මේ චක්‍රලේඛය මඟින් බාධා පැමිණි බවත් ජනාධිපති නීතීඥවරයා සඳහන් කළේය. එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවද ඒ මහතා පැවසීය.
පෙත්සම් සම්බන්ධයෙන් වැඩිදුර කරුණු සලකා බැලීම කල් තබන ලදි. විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ එහි විධායක අධ්යක්ෂ පාක්‍යසෝති සරවනමුත්තු මහතා සහ ජාතික ජන බලවේගය විසින් මේ පෙත්සම් ගොනු කර තිබිණි.
මැතිවරණ කොමිසමේ සභාපති නිමල් ජී. පුංචිහේවා මහතා සහ එම කොමිසමේ සාමාජිකයන් ඇතුළු පිරිසක් පෙත්සමෙහි වගඋත්තරකරුවෝ වූහ.