තමන්ගේ ගමට එන මාර්ගයේ තිබූ පාලමක් ගංවතුරට අසුවී කඩාගෙන ගොස් තිබිය දී වගකිවයුත්තන්ගේ අවධානයට ලක් නොවීම නිසා තමන්ට හැකි අයුරින් සාදා ගන්නා පුවතක් ඇල්පිටිය, පේරගස්වත්ත ගමෙන් වාර්තා වේ.
ඇල්පිටිය ප්‍රාදේශීය සභාවට අයත් පේරගස්වත්ත මාර්ගයේ ඇති හින් ඇල හරහා ඉදිකළ පාලම මේ වන විට දැඩි ලෙස අබලන් තත්ත්වයේ පවතී. මෙහි ගෝලීය දේශගුණික විපර්යාස වැඩසටහන යටතේ ලෝක බැංකු ආධාර මත ඉදි කළ බවට සඳහන් නාම පුවරුවක් ද සවි කර තිබූ අතර, මේ වන විට එම නාම පුවරුව ද ගලවා ගෙන ගොස් ඇත. මීට වසර කිහිපයකට පෙර මේ පාලම ඉදි කළ අතර, පසුගිය ගංවතුර සමයේ මේ පාලමේ කොටසක් කැඩී යෑම නිසා පාලම ගිලා බැස ඇත. ප්‍රදේශවාසීන් පවසන්නේ මේ පාලම ඉදි කළ පෞද්ගලික කොන්ත්‍රාත් සමාගම විසින් නියමිත පරිදි ප්‍රමිතියට මේ පාලම ඉදිනොකළ නිසා මෙය ගිලා බැස ඇති බවයි. මේ දිනවල පවතින දැඩි වර්ෂාපතනය නිසා ගංවතුර ඇතිවීම හේතු කොටගෙන විශාල ජල ප්‍රවාහයක් මේ පාලමට උඩින් ගලා යන නිසා තමන්ට මේ මාර්ගයෙන් ගමන් කිරීමට නොහැකි බව ප්‍රදේශවාසීහු පවසති.
මේ පිළිබඳව අදහස් දැක්වූ රොෂාණි ජයවීර මහත්මිය
“මේ ගැන අපි ඇල්පිටිය ප්‍රාදේශීය සභාවට සහ ඇල්පිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ද දැනුම් දුන්නා. ඒත් මේතාක් විසඳුමක් නොදුන් නිසා අපට ගමට යන්න වෙන පාරක් නැති නිසා ගමේ අය එකතුවී සල්ලි එකතු කරලා මේ පාලමේ කොටසක් හදන්න පටන් ගත්තා. එදිනෙදා කුලී වැඩ කර හම්බ කර ගත් සල්ලිවලින් අපට හැකි පමණින් මේ පාලම කොන්ක්‍රීට් දමා හදන්න පටන් ගත්තා.”
සන්ධ්‍යා මල්කාන්ති මහත්මිය
“දැනට අවුරුදු දෙකකට ඉස්සර ගංවතුරෙන් මේ පාලම කැඩිලා තිබුණා. අපි දන්න කියන හැම තැනටම මේ පාලම හදලා දෙන්න කියලා ඉල්ලීම් කළා. කිසිම ප්‍රතිචාරයක් අපට ලැබුණේ නෑ. ඊට පස්සේ අපේ ගමේ අය එකතු වෙලා අපට පුළුවන් විදියට මේ පාලම හදා ගත්තා. ආයෙ ආව ගංවතුරෙන් ඒ ටිකත් කඩාගෙන ගියා. අපි හරිම අමාරුවෙන් තමයි මේ වැඩේ කළේ. අපි සල්ලි එකතු කරලා තමයි මේ වැඩෙත් පටන් ගත්තෙ. අපි කුලී වැඩ කරලා තමයි ජීවත් වන්නේ. මේ ගමේ රජයේ සේවකයන් කවුරුත් නෑ. මළගෙයක් වුණොත් කරේ තමා පෙට්ටිය අරගෙන යන්න වෙන්නේ. මේ පාලමේ ඉතුරු වැඩ කොටස කරලා දෙන ලෙස අපි බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.”
කේ. ඩී. සුරංග මහතා
“අපේ ගමේ ගෙවල් හතරයි පහයි තියෙන්නේ. අපි එකතු වෙලා තමයි මේ කැඩිච්ච පාලමේ කොටසක් හදා ගන්න උත්සාහ කරන්නේ. ප්‍රාදේශීය සභාවට දැනුම් දුන්නත් ආවෙ නෑ. මේ පාලම හදන කොට අපි කිව්වා විශාල ජල පහරක් එනවා පෙට්ටි බෝක්කු දාලා හදන්න කියලා. ඒත් ඒවා ඇහුවේ නෑ. ඒක නිසා අපි අමාරුවෙන් මේකේ කොටසක් සිමෙන්ති දාලා හදා ගත්තා. අපි කියන්නේ වගකිවයුතු අය මේ පාලම නිසි අයුරින් සකස් කර ඇළ ප්‍රතිසංස්කරණය කර දෙන ලෙස ඉල්ලා සිටිනවා.”