Home » ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යූහගතකරණයට ණය හිමි කමිටුවේ එකඟතාව පළ වීම ගැන එක්සත් ජනපදය සතුටු වනවා

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යූහගතකරණයට ණය හිමි කමිටුවේ එකඟතාව පළ වීම ගැන එක්සත් ජනපදය සතුටු වනවා

තානාපතිනී ජුලී චන්ග්

by mahesh
December 1, 2023 1:00 am 0 comment

මහින්ද අලුත්ගෙදර

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යූහගතකරණය සඳහා නිල ණය හිමි කමිටුවේ එකඟතාව පළ වීම සම්බන්ධයෙන් සතුටු වන බව අමෙරිකා එක්සත් ජනපදය ප්‍රකාශ කරයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මීළඟ ණය වාරිකය ලබාදීම සඳහා ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය, ආර්ථික ප්‍රතිසංස්කරණ මෙන්ස නිවැරදි ආර්ථික ප්‍රතිපත්ති අවශ්‍ය වන බවද ශ්‍රී ලංකාවේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපතිනී ජුලී චන්ග් මහත්මිය පවසයි. සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් තානාපතිවරිය මේ බව සදහන් කරයි.

ශ්‍රී ලංකාව සහ නිල ණය හිමි කමිටුව අතර ඇති කරගත් ප්‍රතිපත්තිමය එකඟතාව අමෙරිකා එක්සත් ජනපදය පිළිගන්නා බව පවසන අමෙරිකානු තානාපතිනිය ඉදිරියට ලැබෙන සහනය හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය, නැවත ගොඩනැඟීම, මහජන සේවා වර්ධනයට සහාය දෙන බවද කියාසිටී. මේ අතර තානාපතිනිය සදහන් කරන්නේ ශ්‍රී ලංකාවේ තිරසර ආර්ථිකයක් ඇති කිරීම සඳහා අමෙරිකාව පූර්ණ සහාය දෙන බවයි.

මෙරට ණය ප්‍රතිව්‍යූහගතකරණය සඳහා එකඟ වන බවට ජපානය, ඉන්දියාව සහ ප්‍රංශය ප්‍රමුඛ ණය හිමි කමිටුව තහවුරු කර තිබෙන අතර, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනේ දක්වා ඇති ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ ප්‍රමිතීන්ට අනුකූලව ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යූහගත කිරීම සඳහා නිශ්චිත මූල්‍යකරණ සහතික පිළිබඳ ප්‍රතිපත්තිමය එකඟතාව ජපානය, ඉන්දියාව හා ප්‍රංශය සම සභාපතිත්වය දරන නිල ණය හිමි කමිටුව විසින් තහවුරු කර ඇත.

නිල ණය හිමි කමිටුව විසින් එකඟතාව දැක්වීම ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වැඩසටහනේ පළමු සමාලෝචනය අවසන් වීමෙන් පසු දෙවැනි වාරිකය නිදහස් කිරීමට අදාළ විධායක මණ්ඩලයේ අනුමැතිය දෙසැම්බර් මස තුළ ලබා ගැනීමට හැකියාව ඇති කරන අතර, එමඟින් ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව වැනි අනෙකුත් හවුල්කරුවන්ට තවදුරටත් මූල්‍ය පහසුකම් සැපයීමට හැකියාව ලැබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT