විවිධ ප්‍රකාශ කරමින් හිටපු ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතා දිගින් දිගටම අධිකරණයට හා නීතිඥවරුන්ට අපහාස කරමින් සිටින බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නවීන් මාරපන මහතා අභියාචනාධිකරණයේදී ඊයේ (30) ප්‍රකාශ කළේය. පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වී දිගින් දිගටම එවැනි ප්‍රකාශ සිදු කිරීම මඟින් අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගත හැකි ද යන ප්‍රශ්නය අධිකරණය විසින් විසඳිය යුතුව ඇති බව ද ඒ මහතා සඳහන් කළේය.අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදු කිරීමෙන් හිටපු ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතා අධිකරණයට අපහාස කර ඇති බවට පැමිණිලි කරමින් නීතිඥවරියක විසින් ගොනුකළ පෙත්සම කැඳවූ අවස්ථාවේදී මැදිහත් පාර්ශ්ව පෙත්සම්කාර නීතිඥ සංගමය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා මේ බව සඳහන් කළේය.
අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන ලෆාර් තාහීර් සහ ඛේමා ස්වර්ණාධිපති යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත විනිසුරු මඬුල්ලක් හමුවේ මෙම පෙත්සම කැඳවන ලදි.
එහිදී විත්තිකාර රොෂාන් රණසිංහ මහතා වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටි ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා මහතා සඳහන් කළේ මෙම පෙත්සම සම්බන්ධයෙන් සිය සේවාදායකයාට නොතීසි ලැබී නැති බවය. මෙවැනි පෙත්සමක් ඇති බවත් එය අධිකරණය හමුවේ සලකා බලන බවටත් සමාජ මාධ්‍ය ඔස්සේ කරුණු පළවීම නිසා ඒ අනුව පෙරකලාසි ගොනු කරමින් අධිකරණය හමුවේ පෙනී සිටින බවත් ඒ මහතා සඳහන් කළේය. මෙහිදී පෙත්සම්කාර නීතිඥවරිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ චන්දක ජයසුන්දර මහතා සඳහන් කළේ විත්තිකාර රොෂාන් රණසිංහ මහතා වෙත කුරියර් සේවාව මඟින් නොතීසි ලබා දීමට කටයුතු කළ බවය.
ඔහු එම ලිපිනයේ නොමැති බැවින් නොතීසි භාර ගැනීම එහි සිටි ආරක්ෂක නිලධාරීන් විසින් ප්‍රතික්ෂේප කර ඇති බව ඒ මහතා සඳහන් කළේය.කෙසේ වුව ද විත්තිකාර පාර්ශ්වය වෙනුවෙන් නීතිඥවරයකු අධිකරණයේ පෙනී සිටින බැවින් අදාළ නොතීසි ලබා දීමකින් තොරව වුව ද සම්බන්ධ කරුණු ඉදිරිපත් කිරීමට හැකියාව ඇති බව ජනාධිපති නීතිඥවරයා සඳහන් කෙළේය. මෙහිදී විත්තිකාර රොෂාන් රණසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා මහතා සඳහන් කළේ නොතීසි ලබා දීමෙන් තොරව පෙත්සම සම්බන්ධ කරුණු ඉදිරිපත් කිරීමට ජනාධිපති නීතිඥවරයා කරන ඉල්ලීම සම්බන්ධයෙන් තමා විරුද්ධ වන බවය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් මීට පෙර අධිකරණය හමුවේ විභාග වූ නඩුව සම්බන්ධයෙන් ද මෙවැනිම තත්ත්වයක් උද්ගතවූ බව ද ඒ මහතා සඳහන් කළේය. නොතීසි ලබා දීමකින් තොරව පෙත්සම සම්බන්ධයෙන් කරුණු සලකා බලා අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීමට ද එහිදී අධිකරණය කටයුතු කළ බව ඔහු සඳහන් කළේය.
එලෙසම මෙම පෙත්සම සම්බන්ධයෙන් ද එම ආකාරයෙන්ම කටයුතු කිරීමට පෙත්සම්කාර පාර්ශ්වය කටයුතු කිරීම සම්බන්ධයෙන් තමන් විරුද්ධ වන බව ඒ මහතා සඳහන් කළේය.
මැදිහත් පාර්ශ්ව පෙත්සමක් ඉදිරිපත් කර ඇති ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නවීන් මාරපන මහතා සඳහන් කළේ පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවාවී සිදු සිදු කරන ප්‍රකාශ මඟින් අධිකරණයට අපහාස කිරීමේ නඩුකරයක් පවත්වාගෙන යා හැකි ද යන පැනය අධිකරණය විසින් විසඳිය යුතුව ඇති බවය. හිටපු ක්‍රීඩා ඇමැතිවරයා සිය ෆේස්බුක් ගිණුම හරහා ද දිගින් දිගටම නීතිඥවරුන් සහ අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා සම්බන්ධයෙන් විවේචන සිදු කරමින් ප්‍රකාශ කර ඇති බව ඒ මහතා සඳහන් කළේය. මෙවැනි අපහාස සිදු කිරීම නතර කළ යුතු බව ද ඒ මහතා සඳහන් කළේය.
අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා සම්බන්ධයෙන් පමණක් නොව නඩුවලට පෙනී සිටි නීතිඥවරුන් සම්බන්ධයෙන් ද අපහාසාත්මක ප්‍රකාශ ඒ මහතා විසින් සිදුකර ඇති බව ද ජනාධිපති නීතිඥවරයා සඳහන් කෙළ්ය. ඒ සම්බන්ධයෙන් අධිකරණයේ අවධානය යොමු කිරීම සඳහා ශ්‍රී ලංකා නීතිඥ සංගමය මෙම මැදිහත් පාර්ශ්ව පෙත්සම ඉදිරිපත් කර ඇති බැවින් ඊට අවසර ලබාදෙන ලෙස ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
එහිදී පෙත්සම්කාර නීතිඥවරිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ චන්දක ජයසුන්දර මහතා පෙත්සම සම්බන්ධයෙන් නොතීසි සහ අදාළ ලියකියවිලි විත්තිකාර රොෂාන් රණසිංහ මහතාගේ නීතිඥවරයාට විවෘත අධිකරණය හමුවේම ලබා දීමට සූදානම් බව ප්‍රකාශ කළේය. ඒ අනුව එම නොතීසි සහ ලියකියවිලි අදාළ නීතිඥවරයා වෙත ලබා දෙන ලදි.
කරුණු සලකා බැලූ අභියාචනාධිකරණය මැදිහත් පාර්ශ්ව පෙත්සම් ඉදිරිපත් කර ඇති ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ පෙත්සමට අවසර ලබා දීමට තීරණය කළේය. පෙත්සම සම්බන්ධයෙන් විරෝධතා ගොනු කිරීම සඳහා හිටපු ක්‍රීඩා ඇමැතිවරයාට අවසර ලබාදුන් අතර අදාළ විරෝධතා දෙසැම්බර් 15 හෝ ඊට පෙර ගොනුකරන ලෙස නියම කෙරිණ. ඊට එරෙහි ප්‍රතිවිරෝධතා ජනවාරි මස 8 වැනිදා ගොනු කරන ලෙස පෙත්සම්කාර සහ මැදිහත් පෙත්සම්කාර පාර්ශ්වයට නියම කරන ලදි. ඒ සම්බන්ධයෙන් කරුණු සලකා බැලීම 2024 ජනවාරි මස 23 වැනිදා සිදු කිරීමට නියම කෙරිණ. නීතිඥ දිමිත්‍රි ශිරාස් ඔගස්ටස් පිට්‍රාංජලී විසින් පෙත්සම ඉදිරිපත් කරන ලදි. එහි වගඋත්තරකරු ලෙස හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා නම් කර සිටී. ක්‍රීඩා ඇමැතිවරයාව සිටි රොෂාන් රණසිංහ මහතා ඉකුත් 8 වැනිදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදු කරමින් අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයාට අපහාසයක් වන ආකාරයෙන් කරුණු ඉදිරිපත් කර ඇති බව පෙත්සෙම් සඳහන් වේ.
හිටපු ඇමැති රොෂාන් රණසිංහ මහතා අදාළ ප්‍රකාශය සිදු කරමින් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයාගේ වෘත්තීය ජීවිතයට සහ චරිතයට විශාල අගතියක් මෙන්ම හානියක් සිදුකර ඇති බව පෙත්සෙම් සඳහන් වේ.
එසේම එමඟින් ඔහු අභියාචනාධිකරණ සභාපතිවරයාට අපහාසයක් සිදු කර ඇති බව පෙත්සම මඟින් පෙන්වා දී ඇත. පිළිගත් පාර්ලිමේන්තු සම්ප්‍රදායට අනුව උපරිමාධිකරණ විනිසුරුවරු සම්බන්ධයෙන් මෙවැනි ප්‍රකාශයන් සිදු කිරීමට හැකියාවක් නොමැති බව ද පෙත්සම්කරු කියයි.
ඒ අනුව අදාළ ප්‍රකාශය සිදු කිරීමෙන් රොෂාන් රණසිංහ මහතා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105 (3) ව්‍යවස්ථාවෙහි සඳහන් පරිදි අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බවත් පෙත්සම මඟින් පෙන්වා දී ඇත. ඒ අනුව මෙකී සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය විසින් විභාගයක් පැවැත්විය යුතු බවට පෙත්සම්කරු විසින් පෙන්වා දී ඇත. එබැවින් අදාළ ප්‍රකාශය සිදු කිරීම මඟින් අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් දඬුවම් නොකිරීමට හේතු විමසා වගඋත්තරකාර හිටපු ඇමැති රොෂාන් රණසිංහ මහතා වෙත නොතීසි නිකුත් කරන ලෙස පෙත්සම මඟින් ඉල්ලා ඇත. එසේම ඔහුට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව ගොනුකර විභාගයක් පවත්වා අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් සුදුසු දඬුවම් පමුණුවන ලෙස පෙත්සම මඟින් අධිකරණයෙන් ඉල්ලා ඇත.