Home » වසර 10කට වඩා පැරණි රජයේ වාහන වෙන්දේසි කළ යුතුයි

වසර 10කට වඩා පැරණි රජයේ වාහන වෙන්දේසි කළ යුතුයි

මාර්ග රිය අනතුරුවලට ලක්වූ වින්දිතයන්ට මූලිකව සහන ලබාදීමේ වැඩසටහනක්

by mahesh
December 1, 2023 1:00 am 0 comment

සුභාෂිණී සේනානායක

වසර දහයකට වඩා පැරණි රජයේ වාහන වෙන්දේසි කර රජයට අවශ්‍ය වාහන කුලී පදනම මත ලබා ගත යුතු යැයි ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.

ජාත්‍යන්තර වින්දිත දිනයට සමගාමීව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව මඟින් ක්‍රියාත්මක කරනු ලබන මාර්ග රිය අනතුරුවලට ලක්වූ වින්දිතයන් සඳහා මූලිකව සහන ලබාදීමේ වැඩසටහනක් ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (30) සිදු කෙරිණි.

මෙම වැඩසටහන යටතේ මාර්ග රිය අනතුරුවලට ලක්ව සදාකාලික ආබාධිත තත්ත්වයට පත්වූ වින්දිත පුද්ගලයන් විසිපස් දෙනෙකු වෙනුවෙන් රු. 3,750,000ක මුදලක් පිරිනමන ලදි.

වැඩසටහනට සමගාමීව රිය අනතුරු සහ පසු අනතුරු කළමනාකරණය පිළිබඳ විශේෂ දේශනය කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය ඒ. අයි. ජාගොඩ මහතා විසින් සිදු කරන ලදි.

එහිදී අදහස් දැක්වූ බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා මෙසේ පැවැසීය.

රිය අනතුරුවලින් වින්දිතයින් බවට පත්වූවන් සඳහා ජාතික වැඩපිළිවෙළක් සැකසීම සඳහා ඵලදායි ආරම්භයක් ලෙස මෙම අවස්ථාව ඉතාමත් වැදගත්. අනතුරුවලින් ආබාධයට ලක්වන, මිය යන පිරිස පිළිබඳ විශේෂ ජාතික අවධානය යොමු කිරීම ජාතික වශයෙන් විසඳුම් සොයා ගත යුතු ගැටලුවක්. වටිනා මිනිස් ජීවිත හයකට වැඩි ප්‍රමාණයක් ශ්‍රී ලංකාව තුළ දිනකට රිය අනතුරු හේතුවෙන් අහිමිව යනවා. මිනිසුන් ජීවත් කරවීම සඳහා ජීවිතය සමඟ අරගලයක නිරත වන සමාජයක රිය අනතුරුවලින් සිදුවන මරණ වළක්වා ගැනීම ඉතාමත් වැදගත් කරුණක්. ඒ මත පදනම් වූ පූර්ණ අකර්මණ්‍යතාවයට සහ අර්ධ අකර්මණ්‍යතාවයට පත්වීමෙන් පවුලට සහ ජීවිතවලට සිදුවන බලපෑම පිළිබඳව ජාතික වැඩසටහනක් තිබිය යුතුයි. ක්‍රිකට් පිළිබඳ ගැටලුවක් පවතින මොහොතක ජාතික වශයෙන් විශාල අවධානයක් ඊට යොමු වනවා. නමුත් රිය අනතුරුවලින් දිනකට මිය යන, ආබාධිත වන පිරිස් සහ එම තත්ත්වයන් වළක්වා ගැනීම පිළිබඳව ජාතික වැඩපිළිවෙළකට ජාතික අවධානයක් යොමු වීම ඉතාමත් වැදගත් මේ පිළිබඳව ජනතාවගේ අවධානය යොමු කිරීමේ විශාල වගකීමක් ජනමාධ්‍ය සතුව පවතිනවා. එම නිසා විශේෂයෙන්ම ජනමාධ්‍ය විෂය භාර අමාත්‍යවරයා ලෙස රාජ්‍ය මාධ්‍ය ආයතනවලට මේ පිළිබඳ ජනතාව දැනුම්වත් කිරීමේ විශේෂ වැඩපිළිවෙළක් කඩිනමින් සකස් කරන ලෙස උපදෙස් ලබා දෙනවා.

එමෙන්ම ආයුර්වේද වෛද්‍ය ක්‍රමය සහ බටහිර වෛද්‍ය ක්‍රම දෙකම ඒකාබද්ධ කරමින් රිය අනතුරු හේතුවෙන් අසරණභාවයට පත් වන ජනතාවට දීර්ඝකාලීන වෛද්‍ය ප්‍රතිකාර ලබාදීම සඳහා ආයුර්වේදයට විශාල කාර්යභාරයක් සිදු කළ හැකියි. එම නිසා බස්නාහිර පළාතේ ආණ්ඩුකාරතුමා, ආයුර්වේද විෂය භාර අමාත්‍යතුමා, සෞඛ්‍ය අමාත්‍යතුමා සමඟ එක්ව බටහිර හා දේශීය වෛද්‍ය ක්‍රම එකාබද්ධ කරගනිමින් මීගොඩ වැනි පහසුකම් සහිත ආයුර්වේද මධ්‍යස්ථාන යොදාගනිමින් ආබාධිත තැනැත්තන් වඩා හොඳින් සුවපත්භාවයට පත් කිරිම සඳහා වැඩපිළිවෙළක් සඳහා කඩිනම් සාකච්ඡාවක් සිදු කිරීමට බලාපොරොත්තු වෙනවා.

මේ වන විට ලෝකය වැඩි වැඩියෙන් විදුලි රථ වාහන භාවිතය පිළිබඳ විශාල අවධානයක් යොමු කරමින් පවතිනවා. පොසිල ඉන්ධන භාවිතය වෙනුවට පරිසර හිතකාමි, විදුලියෙන් ධාවනය වන ත්‍රිරෝද රථ, යතුරු පැදි, මෝටර් රථ, බස්රථ හා දුම්රිය පිළිබඳ විශේෂ අවධානයක් යොමු ව පවතිනවා. එහිදී මාර්ගය භාවිත කරන පුද්ගලයන් සහ දේපළවල ආරක්ෂාව පිළිබඳ ජාත්‍යන්තර ප්‍රමිතීන් සහ සම්මතයන් සමඟ වාහන පද්ධතිය නවීකරණය පිළිබඳව අවධානය යොමු කිරීමට ද අප බලාපොරොත්තු වනවා.

මේ වන විට රජය සතුව පවතින වාහන ප්‍රමාණය 84247ක්‌. මේ අතරින් 47074ක්‌ එනම් 56%ක්‌ වසර දහයකට වඩා පැරණියි. එම නිසා මේවායින් වැඩි ප්‍රයෝජනයක් පවතින්නේ ගරාජ් හිමියන්ට, රථ වාහන අලුත්වැඩියා කරන්නන්ට, සහ අමතර කොටස් අලෙවිකරුවන්ට. මේ වසර දහයකට වඩා පැරණි වාහන සියල්ලම වෙන්දේසියකින් පුද්ගලික අංශය වෙත අලෙවි කර රජයට අවශ්‍ය කරන නවීන වාහන මිලදී ගැනීමකින් තොරව අවශ්‍යතාවය පරිදි වෙනත් පාර්ශ්වයකින් කුලී පදනම මත ලබා ගැනීම වඩාත් කාලෝචිතයි. ඒ තුළින් රජයට විශාල මුදලක ඉතිරියක් සිදුවනවා. දැනටත් පුද්ගලික අංශයේ සංචාරක හෝටල් ඇතුළු ව්‍යාපාරිකයින් සිදු කරන්නේ එලෙස වාහන කුලී පදනම මත ලබා ගැනීමයි. එම නිසා හොඳ වාහන ඇණියක් පවත්වාගෙන යෑම සදහාත්, යහපත් මාර්ග පද්ධතියක් පවත්වාගෙන යෑමටත් ආයතන අතර පවතින අන්තර් සම්බන්ධීකරණය වර්ධනය කිරීම තුළින් 2024 වසර තුළ මාර්ග අනතුරු අවම කිරීමේ වසරක් බවට පත් කිරීම සඳහා සියලු දෙනා කැපවිය යුතු වනවා.

ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා, ප්‍රවාහන අමාත්‍යංශ අතිරේක ලේකම් එල්. එච්. තිලකරත්න මහතා, මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති මලිත් ජයතිලක මහතා, ශ්‍රී ලංකා පොලිසියේ නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT