Home » ජීවන වියදම් දර්ශකයට සමානුපාතිකව විශ්‍රාමික දීමනා ඉහළ නැංවීමට සූත්‍රයක්

ජීවන වියදම් දර්ශකයට සමානුපාතිකව විශ්‍රාමික දීමනා ඉහළ නැංවීමට සූත්‍රයක්

by mahesh
December 1, 2023 12:58 am 0 comment

විශ්‍රාමික දීමනා, මානුෂිකව සළකා බලා පවත්නා ජීවන වියදම් දර්ශකයට සමානුපාතිකව ඉහළ නැංවීම සඳහා යම් කිසි සූත්‍රයක් සකසන ලෙස ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට නිර්දේශ කර ඇත.

දැනට සක්‍රීය විශ්‍රාමිකයන් ලක්ෂ 7 කට අධික ප්‍රමාණයක් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචිව සිටින බව දෙපාර්තමේන්තුව පාර්ශ්වයෙන් මෙහිදී අනාවරණයප වී ඇත.

විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව, ජාතික වැඩිහිටි මහ ලේකම් කාර්යාලය යන රාජ්‍ය ආයතනවල නිලධාරීන් ද විශ්‍රාමිකයන්ගේ සංගම් නියෝජිතයන් ද මේ රැස්වීම සඳහා කැඳවා තිබිණ.

එම කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ සභාපතිත්වයෙන් ඊයේ (30) වැනි දින පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.

වසරකට විශ්‍රාමිකයන් 26000ක් පමණ (සිවිල් 19000, ත්‍රිවිධ හමුදා 7000) සක්‍රීය තත්ත්වයට එකතු වන අතර, 20000ක් පමණ මියයාම හේතුවෙන් විශ්‍රාමික ලැයිස්තුවෙන් ඉවත් වන බව මෙහිදී අනාවරණය විය. මසක් සඳහා විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව සඳහා රු. බිලියන 413ක් පමණ වෙන් කර ඇති බවත්, අවු. 55 සම්පූර්ණ කොට විශ්‍රාම යන අය සඳහා ඉල්ලා සිටින පරිදි විශ්‍රාම වැටුප මෙන් 24 ගුණයක් පාරිතෝෂික ලෙස ගෙවන අතර, එය වසර 10ක් ඇතුළත විශ්‍රාම වැටුපෙන් අඩු කර ගන්නා බවත් වාර්තා විය.

ජාතික වැඩිහිටි මහ ලේකම් කාර්යාලයෙන් සිදුවන කාර්යභාරය වන්නේ අවු. 70ට වැඩි අඩු ආදායම් ලාභී, මසක ආදායම රු. 6000ට අඩු පුද්ගලයන් වෙත මාසිකව රු. 2000ක දීමනාවක් ලබා දීම වන අතර, ග්‍රාම නිලධාරීවරයාගේ සහතිකය මත දැනට 733204කට වැඩිහිටි දීමනාව ගෙවන බව ද මෙහිදී එම ආයතනයේ නිලධාරීහු පැවසූහ. වර්ෂයකට සාමාන්‍යයක් ලෙස වැඩිහිටි දීමනාව ගෙවන ලැයිස්තුවට එකතු වන පිරිස කොපමණක් ද, මියයාම නිසා ඉවත් වන පිරිස කොපමණක් ද, හා පොරොත්තු ලේඛනයේ සිටින වැඩිහිටි සංඛ්‍යාව කොපමණද යන්න පිළිබඳ සංඛ්‍යාලේඛණ කාරක සභාව වෙත ලබා දෙන ලෙස කාරක සභා සභාපතිවරයා ජාතික වැඩිහිටි මහ ලේකම් කාර්යාලයේ නිලධාරීන් වෙත උපදෙස් ලබා දුන්නේය.

2016.01.01 දින සිට ක්‍රියාත්මක වන පරිදි රාජ්‍ය සේවකයන් සඳහා සිදු කරන ලද වැටුප් වැඩි වීම 2020.01.01 දක්වා අදියර 5ක් යටතේ ක්‍රියාත්මක වූ බවත්, 2020.01.01 දිනෙන් පසු විශ්‍රාම ලැබූ අයට එම වැටුප් වැඩි වීම අනුව ගළපන ලද සම්පූර්ණ විශ්‍රාම වැටුප ලැබීම හේතුවෙන් 2017ට පෙර විශ්‍රාම ලැබූ අය හා 2020න් පසු විශ්‍රාම ලැබූ අය අතර විශාල විශ්‍රාම වැටුප් විෂමතාවයක් ඇති වී ඇති බවත් මෙහිදී සාකච්ඡා විය. 2020.01.01 දිනට ලැබිය යුතු විශ්‍රාම වැටුප් වර්ධකය අත්හිටුවීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් ගත් තීරණය ද ඊට හේතු වූ බවත් ඊට අමතරව ගුරු විදුහල්පතිවරුන් සඳහා 2021 දී සිදු වූ වැටුප් වැඩි වීම හේතුවෙන් 2017/01/01ට පෙර විශ්‍රාම ලැබු පිරිසට දැඩි විශ්‍රාම වැටුප් විෂමතාවයක් උද්ගත වී ඇති බවත්, මෙහිදී සඳහන් විය. එමෙන්ම, රාජ්‍ය සේවකයන්ට 2024/01/01 දින සිට ක්‍රියාත්මක වන පරිදි රු.10,000ක වැටුප් වැඩි වීමක් ලබා දුන්න ද විශ්‍රාමිකයන්ගේ දීමනාව වැඩි කර ඇත්තේ රු. 2500ක් පමණක් බවත්, වැටුප් වැඩිවීම හා සලකා බලන විට විශ්‍රාම වැටුප් වැඩි වී ඇත්තේ 25%ක ප්‍රමාණයකින් බවත් එම වැඩිවීම ජීවන වියදම වැඩි වීම හමුවේ කිසිසේත් ප්‍රමාණවත් නොවන බවත් විශ්‍රාමිකයෝ කාරක සභාව හමුවේ ප්‍රකාශ කළහ. විශ්‍රාමික දීමනා, මානුෂිකව සළකා බලා පවත්නා ජීවන වියදම් දර්ශකයට සමානුපාතිකව ඉහළ නැංවීම සඳහා යම් කිසි සූත්‍රයක් සකසන ලෙස සභාපතිවරයා නිර්දේශ කළේය.

අග්‍රහාර රක්ෂණ ක්‍රමයේ ප්‍රතිලාභ 2016.01.01 දිනෙන් පසු විශ්‍රාම ගිය අයට හිමිවන අතර, එම දිනට පෙර විශ්‍රාම ගිය අයට ද, එම ප්‍රතිලාභ ලැබෙන ආකාරයකින් රක්ෂණ ක්‍රමය පුළුල් කළ යුතු අතර, එමඟින් රෝහල්ගත වීම් දීමනා, සැත්කම් දීමනා, මරණ පාරිතෝශික දීමනා යනාදිය අදාළ දිනට පෙර විශ්‍රාම ගිය අය සඳහා ද ලබාදීමේ අවශ්‍යතාව විශ්‍රාමිකයන්ගේ පාර්ශ්වයෙන් අවධාරණය කෙරිණ. අග්‍රහාර රක්ෂණ ක්‍රමයේ ප්‍රතිලාභ 2016.01.01 දිනට පෙර විශ්‍රාම ලැබූවන් සඳහා ද ලබා දීමේ හැකියාව සොයා බලන ලෙස කාරක සභා සභාපතිවරයා විසින් උපදෙස් ලබා දුන්නේය.

විශ්‍රාමිකයන්ගේ ගැටලු සාකච්ඡා කිරීම සඳහා විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ බලයලත් නියෝජිතයෙකු පත් කරන ලෙසත් සහ විශ්‍රාමික සංගම් නියෝජිතයන් හා එම බලයලත් නිලධාරියා අතර මූලික සාකච්ඡාව දෙසැම්බර් 15 වෙනි දින උදේ 9.00ට පැවැත්වීමට කටයුතු සම්පාදනය කරන ලෙස ද, කාරක සභා සභාපති පාඨලී චම්පික රණවක මහතා මෙහිදී නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

වැඩිහිටි දීමනාව ලබා ගන්නා අය ද, ආබාධිත පුද්ගලයන් ද සමාජීය ප්‍රතිලාභ ලැබිය යුතු අයගේ ලැයිස්තුවට (Social Registry) ඇතුළත් කළ යුතු බවත්, විශ්‍රාම වැටුප් ගෙවීමට සැළකිය යුතු බලපෑමක් සිදුවන බැවින් විශ්‍රාම වැටුප් ලබන්නන්ගේ මරණ ඉක්මණින් යාවත්කාලීන කළ හැකි ඩිජිටල් ක්‍රමවේදයක් සැකසීමේ අවශ්‍යතාව ද, මෙහිදී අවධාරණය කෙරිණ.

මෙම කාරක සභා රැස්වීම සඳහා රාජ්‍ය ඇමැතිවරයා වන ලසන්ත අලගියවන්න, අනුරාධ ජයරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න, නාලක බණ්ඩාර කෝට්ටේගොඩ යන මහත්වරු ද එක්ව සිටියහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT