අයහපත් කාලගුණික තත්ත්වය නිසා තාවකාලිකව නවතා ඇති ඉන්දියාව හා යාපනය අතර නැව් සේවාව අනිවාර්යෙන්ම ලබන වසරේ ජනවාරි මස පළමු සතියේදී යළි ආරම්භ කරන බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා පෙරේදා (29) යාපනයේදී පැවසීය.
ඉන්දීය මහ කොමසාරිස්වරයා මේ බව පැවසුවේ යාපනයේ සිදු කළ සංචාරයක් අතරවාරයේ කන්කසන්තුරේ වරායට හා යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපළට පැමිණීමෙන් අනතුරුවය. මෙම සංචාරය සඳහා මහකොමසාරිස්වරයා ඇතුළු පිරිස යාපනයට පැමිණියේ කොළඹ සිට දුම්රියෙනි.
ඉන්දියාවේ නාගපට්නම් සිට යාපනයේ කන්කසන්තුරේ වරාය දක්වා වූ නැව් සේවාව නවතා දැමීමක් සිදුව නොමැති බවත් ඊසාන දිග මෝසම් සුළඟ නිසා උතුරු මුහුදු කලාපයේ වර්ධනය වන අයහපත් කාලගුණික තත්ත්වය මත එම නැව් සේවාව තාවකාලිකව නවතා දමා ඇත්තේ ආරක්ෂිත පියවරක් වශයෙන් බවත් ඔහු කියා සිටියේය.
ලබන වසරේදී ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර ගමනාගමන කටයුතු වඩාත් පුළුල් වන බව කී ඉන්දීය මහකොමසාරිස්වරයා ඒ වැඩ පිළිවෙළට අනුව යාපනය හා ඉන්දියාව අතර නැව් සේවා මෙන්ම ගුවන් සේවාද පුළුල් වන බව සඳහන් කළේය. ඉන්දීය ආයෝජකයින් රැසක් ශ්‍රී ලංකාවේ විවිධ කර්මාන්ත ආරම්භ කිරීමට සූදානමින් සිටින බැවින් ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර වාණිජ කටයුතු වඩාත් පුළුල් හා ස්ථාවර තත්ත්වයක් මත ගොඩනැඟෙන බව ද ඉන්දීය මහකොමසාරිස්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.