ලෝක ඒඩ්ස් දිනය අදට යෙදී තිබෙන අතර ඒඩ්ස් සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමේ පා ගමනක් අද (01) පෙරවරු 8ට කොළඹ හයිඩ් පිටියෙන් ආරම්භ වේ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන්, ත්‍රිවිධ හමුදා නිලධාරීන්, බන්ධනාගාර නිලධාරීන්, කොළඹ නගර සභාව නියෝජනය කරමින් නිලධාරීන් සහ ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහනේ විශේෂඥ වෛද්‍යවරු ඇතුළු නිලධාරීන් මේ අවස්ථාවට එක් වීමට නියමිතය. මෙම වසරේ තෙවන කාර්තුව අවසන් වන විට HIV ආසාදිතයන් 485 දෙනකු මෙරටින් හඳුනාගෙන ඇතැයි ඒඩ්ස් මර්දන ව්‍යාපාරය පවසයි.
එයින් වැඩි පිරිස අවුරුදු 20ට වැඩි පිරිමි වෙති.
ගාල්ල ලිංගාශ්‍රිත රෝග සහ HIV පිළිබඳ සායනයේ විශේෂඥ වෛද්‍ය දර්ශනී විජේවික්‍රම මහත්මිය පැවසුවේ වයිරසය ආසාදිත වූවන් නිසි ප්‍රතිකාර ලැබීමෙන් රෝගය පාලනය කරගත හැකි වුවත් නිට්ටාවට සුව කළ නොහැකි බව මතකයේ තබාගත යුතු බවයි.
ආසාදිතයන් හඳුනාගත් පසුව රජයේ ලිංගාශ්‍රිත රෝග සායන මඟින් අදාළ ආසාදිතයා ලියාපදිංචි කිරීමෙන් පසු නොමිලයේම ප්‍රතිකාර ලබාදෙන අතර ඒ තුළින් රෝගය පාලනය වී තවත් අයකුට බෝ වීමේ ඉඩකඩ පාලනය කරන බව ද සඳහන් කරන දර්ශනී විජේවික්‍රම මහත්මිය සමලිංගික සම්බන්ධකම්වල දිගින් දිගටම යෙදෙන අය හට මේ වන විට විශේෂිත ප්‍රතිකාර ක්‍රමයක් ඇතැයිද පෙන්වා දේ.
නිසියාකාර ලෙස ප්‍රතිකාර ගෙන නිසි අයුරින් ඖෂධ භාවිත කරන අය හට රෝගය පාලනය කර සාමාන්‍ය ජීවිතයක් ගත කිරීමට ද හැකි වන බවත් අවිවාහක අයකු නම් ආවාහ විවාහ වී රෝගය ආසාදිත නොවූ දරුවන් බිහි කිරීමට හැකි වන පරිදි ප්‍රතිකාර ලබා දෙන්නේ යැයි ද විශේෂඥ වෛද්‍ය දර්ශනී විජේවික්‍රම මහත්මිය වැඩිදුරටත් සඳහන් කළාය.