මීගමුව අධ්‍යාපන කලාපයේ බෝලවලාන නිර්මල මහා විද්‍යාලය පිහිටි බිම කුඩා වර්ෂාවකට වුවද ජලයෙන් යට වී, එහි අධ්‍යාපනය ලබන දරුවන්ට ඉගෙනීමට නොහැකි තත්ත්වයක් උදා වී ඇත. මේ දිනවල නොකඩවා ඇද හැළෙන වර්ෂාව නිසා එම විද්‍යාලයේ දුවා දරුවන්ට අධ්‍යාපනය ලැබීමට නොහැකි වී තිබෙන බැවින් බලධාරීන් දැනුවත් කොට සහනයක් ලබා දෙන ලෙස එම දුවා දරුවෝ ඉල්ලා සිටිති.
පාසලේ ඉගෙනුම ලබන දරුවකුගේ පියකු වන 103/ඩී, ඉද්ද ගොඬැල්ල පදිංචි එරන්ග බුද්ධික රාජපක්ෂ පවසා සිටියේ කාලයක් සිට මේ හේතුවෙන් දරුවන්ට නිසි අධ්‍යාපනයක් ලබා දීමට නොහැකි වී ඇති නිසා මානසික පීඩාවන්ට මෙන්ම විවිධ දුෂ්කරතාවන්ට මුහුණ දී සිටින බව යි. මෙය විසඳීමට මව්පියන් වශයෙන් දායකත්වයක් දීමට හැකියාවක් තිබෙන බවට විදුහල්පතිතුමිය දැනුවත් කළ ද ඒ සම්බන්ධව යහපත් ප්‍රතිචාරයක් නොලැබුණු බවයි.
විදුහල්පති, චාන්දනී ද සිල්වා මහත්මිය පැවසුවේ වර්ෂා කාලයට විදුහල් බිම ජලයෙන් යට වී දරුවන්ට පාසලට පැමිණීමට බොහෝ අපහසුතා ඇතිවන බව ය. එමෙන්ම මේ හේතුවෙන් එක්තරා කාලයක මෙම විද්‍යාලය වසා දැමීමට කටයුතු කර ඇතැයි ද ඇය සඳහන් කළ අතර දැනට පවතින තත්ත්වය පිළිබඳ කලාප හා කොට්ඨාස අධ්‍යාපන කාර්යාලය දැනුවත් කළ බවත් ඒ සඳහා විසඳුමක් ලබාදීමට උනන්දු වන බවත් ය.