මහනුවර සාන්ත අන්තෝනි බාලිකා විදුහලට සිසුන් ඇතුළත් කිරීමේ දී 2018 – 2021 කාලය තුළ සිදුව ඇතැයි සැකකරන කරුණක් සම්බන්ධයෙන් ඉදිරිපත් වූ විගණන විමසුමක් පදනම් කරගෙන අප පුවත්පතේ මහනුවර සාන්ත අන්තෝනි බාලිකා විදුහලේ නම සඳහන් කරමින් මාධ්‍ය වාර්තා පළ කරන ලදී.
එලෙස අප පුවත්පතේ පළ වූ මාධ්‍ය වාර්තා මඟින් මහනුවර සාන්ත අන්තෝනි බාලිකා විදුහලේ කීර්තිනාමයට යම් හානියක් සහ 4000ක් පමණ සිසු දැරියන්ට, ගුරුවරුන්ට සහ මවුපියන්ට යම් මානසික පීඩාවක් සිදු වූයේ නම් ඒ සම්බන්ධයෙන් අපගේ බලවත් කනගාටුව ප්‍රකාශ කර සිටිමු.
කර්තෘ සටහන
කටුගස්තොට සාන්ත අන්තෝනි බාලිකාවේ අතරමැදි පන්තිවලට 2018 සිට 2022 දක්වා වූ කාලයේ දී සිසුවියන් 180 දෙනකු පමණ ඇතුළත් කර තිබෙන බවට විගණන පරීක්ෂණයක දී අනාවරණය වූයේ මෙම වසරේ මුල් භාගයේදීය. එම විගණන විමසුම පදනම් කර ගනිමින් පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් පරීක්ෂණයක් ආරම්භ කර තිබිය දී අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (ගුණාත්මක සංවර්ධනය හා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ) එච්. යූ. ප්‍රේමතිලක මහතා මහනුවර පොලිසියේ විශේෂ අපරාධ විමර්ශන අංශයට පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් කියා සිටියේ සාන්ත අන්තෝනි බාලිකාවේ අතරමැදි පන්තිවලට තම අත්සන, නිල මුද්‍රාව හා අමාත්‍යාංශ ලිපි ශීර්ෂය භාවිත කර කූට ලේඛන සකස් කර ළමයින් 18 දෙනකු ඇතුළත් කර තිබෙන බවයි. 2018 – 2022 අතර කාලයේදී විදුහලේ 2, 3, 4, 7, 8 හා 9 ශ්‍රේණිවලට මෙලෙස ළමයින් ඇතුළත් කර තිබෙන බව විගණනයේ දී ද අනාවරණය වී තිබිණි. මෙම ව්‍යාජ ලේඛන ඍජුවම විදුහල්පතිනිය වෙත යොමු කර තිබීම හේතුවෙන් සාන්ත අන්තෝනි බාලිකාවේ විදුහල්පතිනියද ඒ සම්බන්ධව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් කරන ලද දැනුම් දීමකට පැමිණිල්ලක් පොලිසියට කරනු ලැබුවේ විදුහලට ඇතුළත් කරනු ලැබ සිටි සිසුවියන් 29 දෙනකු හා සම්බන්ධ ලිපි ගොනුද සමඟිනි.
මේ සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක කර, අධිකරණයේ නඩු පැවරීම දක්වා සිද්ධිය මේ වන විට විහිද ගොස් තිබේ. එහි දී පැමිණිලිකාර විදුහල්පතිනිය (දැන් හිටපු විදුහල්පතිතුමිය) එරෙහිව විදෙස්ගත වීමේ තහනමක් පොලිසිය අධිකරණයෙන් ලබා ගෙන තිබේ. විදුහලේ අතරමැදි පන්තිවලට සිසුන් ඇතුළත් කිරීමට ව්‍යාජ පදිංචි සහතික ලබා දීමේ චෝදනාව මත ගඟවටකෝරලය සෙංකඩගල වසමේ ග්‍රාම නිලධාරිවරයා පොලිස් අත්අඩංගුවට පත්වීමෙන් පසු පොලිසිය දෙයියන්නේවෙල ග්‍රාම නිලධාරිවරයාට එරෙහිව විදෙස්ගත වීමේ තහනම් නියෝගයක් අධිකරණයෙන් ලබා ගත්තේ සිද්ධියට අදාළ ඉදිරි විමර්ශන සඳහා ඔහුගේ ප්‍රකාශ ලබා ගැනීමට තිබෙන බව දන්වමිනි. සාන්ත අන්තෝනි බාලිකාවේ පාසල් සංවර්ධන සමිතියේ ලේකම්වරයා වූ මෙම ග්‍රාම නිලධාරිවරයා ඒ වන විටත් ඩුබායි බලා යෑමට ගඟවට කෝරළය ප්‍රාදේශීය ලේකම්වරයා වෙත ලිපියක් ඉදිරිපත් කරමින් අවසර ඉල්ලා තිබිණි. පසුව ඔහු පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ පාසලට ළමයින් ඇතුළත් කිරීම සඳහා කූට ලේඛන සකස් කිරීම සහ ඊට ආධාර අනුබල දීමේ චෝදනාව යටතේය. මේ වන විට ග්‍රාම නිලධාරීන් දෙදෙනාටම අධිකරණය මඟින් ඇප ලබා දී තිබේ.
මෙය කිසිසේත් විදුහලක් අපකීර්තියට පත් කිරීමේ ක්‍රියාදාමයක් වැනි පටු අභිලාෂ මත්තේ ගොඩනඟන්නක් නොවේ. මෙවැනි දූෂණ හෙළි කිරීම සඳහා වූ මාධ්‍ය වගකීම ඉටු කිරීමක් පමණය. මේ සඳහා වූ නෛතික කටයුතු දැනටමත් සිදු වන හෙයින් ගරු අධිකරණය ඉදිරියේ සත්‍යය නිරාවරණය වනු ඇත.