Home » ඔප්පු කළොත් ඉල්ලා අස් වෙනවා

ඔප්පු කළොත් ඉල්ලා අස් වෙනවා

by gayan
December 1, 2023 1:00 am 0 comment

රජයේ මුදල් පෞද්ගලික කටයුතුවලට යොදාගත් බවට විගණන වාර්තාවෙන් ඔප්පු කළහොත් තමන් ඉල්ලා අස් වෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (06) පැවසීය.

සංස්කෘතික කටයුතු අරමුදලේ සිදු වූ මුදල් වංචාවක් සම්බන්ධයෙන් ඊයේ (06) පාර්ලිමේන්තුවේදී පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් අදහස් පළ කිරීමත් සමඟ විවාදාත්මක තත්ත්වයක් නිර්මාණය විය.

සජිත් ප්‍රේමදාස මහතාගේ බිරියට ආරක්ෂකයන් දහ දෙනකු යොදවා ඔවුනට රජයෙන් වැටුප් ගෙවා ඇති බවත් ඇගේ රූපලාවණ්‍යාගාරයට 16 දෙනකු යොදා ගත් බවත් විගණන වාර්තාවකින් හෙළි වන අතර ඒ පිළිබඳ සජිත් ප්‍රේමදාස මහතා පැහැදිලි කළ යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නිවාස අමාත්‍යවරයාව සිටියදී රුපියල් බිලියන 10කට ආසන්න මුදලක් අවභාවිත කර ඇති බවට තිබෙන විගණන වාර්තාව අසත්‍ය නම් එය ඔප්පු කර පෙන්වන ලෙස විපක්ෂ නායකවරයාට අභියෝග කරන බවත් අලුත්ගමගේ මහතා පැවසීය.

එහිදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් අදාළ කරුණු ඔප්පු කරන ලෙස අභියෝග කළ අතර, එලෙස ඔප්පු කළහොත් ඉල්ලා අස් වන බවට ද ප්‍රකාශ කළේය.

ඒ අනුව අදාළ වාර්තාව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්කු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා සභාගත කළ අතර, පසුව එය විගණකාධිපතිවරයා ඉදිරිපත් නොකළ බවට විපක්ෂ නායකවරයා ප්‍රතික්ෂේප කළේය.

මෙම අවස්ථාවේදී පාර්ලිමේන්තුවේ උණුසුම්කාරී තත්ත්වයක් හටගත් අතර, පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් එකිනෙකාට චෝදනා කරගනු දක්නට ලැබිණි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, සිරිකොත අලුත්වැඩියා කරන්න මා ලක්ෂ 16ක් මධ්‍යම සංස්කෘතික අරමුදලින් හෝ වෙනත් කිසිම රාජ්‍ය ආයතනයකින් ලබා දෙන්නැයි මා ලිඛිත නියෝගයක් දීලා තියෙනවා කියලා ඔප්පු කළොත් අන්න එදාට මම ඉවත් වෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා, විපක්ෂයට කරන ලොකුම උදව්වක් ඒක. ඒක තමයි මේ පාර්ලිමේන්තුවට කරන ලොකුම උදව්ව.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, මම දින වකවානු සහිතව කිව්වා. මම බය වෙන්නේ මොකටද වාර්තාව ඉදිරිපත් කරන්න. වාර්තාවේ බොහොම පැහැදිලිව තියෙනවා, වගකීමෙන් මම කියනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා, මගේ ළඟ තියෙනවා අභ්‍යන්තර විගණන වාර්තාව.

සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා, එතුමා විගණන වාර්තාව ගැන කියනවා නම් ඒක සභාගත කරන්න.

පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා, හිටපු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ බිරියට ආරක්ෂකයන් 10ක් දාලා රජයෙන් වැටුප් ගෙව්වා කියලා විගණන වාර්තාවේ තියෙනවා. ඒකත් පැහැදිලි කරන්න. ඇගේ සැලුන් එකට 16 දෙනෙක් දාගත්ත කියලත් තියෙනවා. ඒකත් පැහැදිලි කරන්න. ඒ සම්බන්ධයෙන් විගණන වාර්තාව තිබෙනවා. මේ විගණන වාර්තාව දෙන්න විපක්ෂ නායකතුමාට.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, එවන් දෙයක් විගණන වාර්තාවේ සඳහන් වෙලා තියෙනවා නම් සභාගත කරන්න. මම දැන් අස් වෙනවා. විගණන වාර්තාවේ තියෙනවා නම් මම රජයේ අරමුදල් උපයෝගි කරගෙන පෞද්ගලිකව ව්‍යාපාරවලට උපයෝගි කර ගත්තා කියලා මම අයින් වෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා, මේ රටටත් මේ අයගේ පක්ෂයටත් හොඳම කාලයක්. විපක්ෂ නායක අයින් වෙන්න යන්නේ. විපක්ෂ නායකතුමා කිව්වා ඉදිරිපත් කළොත් ඉල්ලා අස් වෙනවා කියලා. මම අමාත්‍යාංශයේ අභ්‍යන්තර විගණන වාර්තාව එතුමාට දුන්නා. එතුමා ඒක කියෙව්වා, වචනයක්වත් කිව්වේ නෑ. කොන්ද පණ තියෙන විපක්ෂ නායක කෙනෙක් නම් අද එතුමා ඉල්ලා අස් වෙන්න ඕනෑ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, ඇම්බැට්ටයෝ ටිකක් දාලා හොර අභ්‍යන්තර විගණනයක් 2022දී කරලා, මට මඩ ගහන්න බොරු වාර්තා හදනවා. මේක ජාතික විගණන කාර්යාලයෙන් ආපු එකක් නෙවෙයි. මේක විගණකාධිපතිතුමා එවපු එකක් නෙවෙයි. මේක එයාලා හොරාගේ අම්මාගෙන් පේන අහන්න ලියගත්ත දෙයක්.

බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක, දැන් මේ වාර්තාව සභාගත කරන්න කියලා ඉල්ලුවා. ඒ වාර්තාව 2022.08.07 වැනිදා කෝප් කමිටුව වෙත ලබා දී ඇත. දැන් කෝප් කමිටුවට පුළුවන් ඒ වාර්තාව සභාගත කරන්න. ඒ වගේම 2019 නොවැම්බර් මස කරන ලද වැඩවලට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ඉල්ලා ඇත. ඒත් අනුමැතිය ලැබී නැත.

 

ස්වර්ණා විජේකෝන්, සන්ධ්‍යා කරුණාරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT