ශ්‍රී ලංකාවේ නිල ණය හිමියන් ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා පෙරේදා (29) මූලික එකඟතාවන්ට පැමිණි බව පාර්ලිමේන්තුවට සතුටින් දැනුම් දෙන බව මුදල් රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (30) පැවසීය.
මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් එකඟතාව පළ කිරීම පිළිබඳව පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ඒ මහතා මේ බව පැවසුවේය.
වැඩිදුරටත් අදහස් දැක් වූ රාජ්‍ය ඇමැතිවරයා මෙසේ ද පැවසුවේය.
එළඹෙන දෙසැම්බර් වන විට අයි.එම්.එෆ්. දෙවන වාරිකය ලබා ගෙන මේ රට බංකොලොත්භාවයෙන් නිදහස් කර ගැනීමට හැකි වෙනවා. මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා ණය හිමියන්ගේ රටවල එකඟතාව ඊයේ ලැබුණා. මෙම ණය ප්‍රතිව්‍යුහගතකරණය මඟින්, මෙරට ආර්ථික ස්ථාවරත්වයක් ඇති කිරීමට සහ ලබන වර්ෂය වන විට ආර්ථික වර්ධනයක් කරා ළඟාවීමට හැකි වෙනවා.
විදේශ මූල්‍ය සහයෝගය ඇතිව ක්‍රියාත්මක වන ව්‍යාපෘති සියල්ල නැවත ආරම්භ කිරීමට අවශ්‍ය මූල්‍ය සහයෝගය මේ නිසා ලැබෙනවා.
ඇතැමුන් මෙම දෙවැනි වාරිකය ලැබීම සම්බන්ධයෙන් විශාල සැකයක් ජනතාව තුළ ඇති කළා. ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට ණය හිමි රටවල් සහයෝගය ලබා දෙන්නේ නැති බවට ජනතාව තුළ සැකයක් මතු කළා. ණය ප්‍රතිව්‍යුහගත කිරීම මෙම අවස්ථාවේ සිදු නොවුණා නම් අපි බලාපොරොත්තු වූ ආර්ථික වර්ධනය කරා ගමන් කරන්න බැරිව යනවා. එම නිසා මෙය ඉතිහාසයේ සන්ධිස්ථානයක්. දෙසැම්බර් මාසය වන විට මම එකඟතාව ලැබෙයි. මෙතෙක් සිදු කළ ප්‍රතිසංස්කරණ කිසිවක් ආපසු හරවන්නේ නැතිව ශක්තිමත් ආර්ථිකයක් කරා ගමන් කිරීමේ ඉදිරි ගමන ආරම්භ කිරීමට හැකි වුණා.
නිල ණයහිමි කමිටුව විසින් එකඟතාව ලබා දීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනේ පළමු සමාලෝචනය අවසන් වීමෙන් පසු දෙවන වාරිකය නිදහස් කිරීමට අදාළ විධායක මණ්ඩලයේ අනුමැතිය දෙසැම්බර් මස තුළ ලබා ගැනීමට හැකියාව ලැබෙනවා. එමඟින් ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව වැනි අනෙකුත් හවුල්කරුවන්ට තවදුරටත් මූල්‍ය පහසුකම් සැපයීමට හැකියාව ලැබෙනවා.