Home » තරුණයන් දෙදෙනාගේ අලුත් යතුරුපැදියට පරිපාලන නිලධාරියා බිලි

තරුණයන් දෙදෙනාගේ අලුත් යතුරුපැදියට පරිපාලන නිලධාරියා බිලි

දේවාලයට බාරයක් වෙන්න ගිහින්

by mahesh
December 1, 2023 1:00 am 0 comment

අරණායක සමූහ රෝහණ ජයරත්න
මියගිය පරිපාලන නිලධාරියා

රිය අනතුරකට ලක්ව බරපතළ තුවාල ලබා මහනුවර මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ග්‍රාම සංවර්ධන පුහුණු හා පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂවරයකු වශයෙන් කටයුතු කළ ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියකු වූ ආර්. කේ. සමන් අනුර මහතා පෙරේදා (29) දහවල් මරණයට පත්ව ඇත.

අනතුරට පත් අධ්‍යක්ෂවරයා පසුගිය 19 දින කිසියම් අවශ්‍යතාවක් සඳහා මාවනැල්ල නගරයටවිත් කොළඹ බස් නැවතුම්පළ ආසන්නයෙන් මාර්ගයේ වම් පැත්තේ සිට දකුණු පැත්තට මාරු වීමට යෑමේ දී 10.30ට පමණ අලුත්නුවර දෙස සිට අඹේපුස්ස දෙසට ධාවනය කෙරුණු යතුරුපැදියක ගැටී මීටර් කිහිපයක් ඉදිරියට විසිවී ගොස් ඇති බව ද පොලිසිය පැවසීය. ඉන් බරපතළ තුවාල ලබා මාවනැල්ල මූලික රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා මහනුවර මහ රෝහල වෙත මාරු කර යැවූ බව ද පොලිසිය පැවසීය. අලුතින් මිලදී ගත් යතුරුපැදියේ මිතුරකු සමඟ අලුත් නුවර දැඩිමුණ්ඩ දේවාලය වැඳ පුදා ගෙන නැවත අඹේපුස්ස, මිරීගම ප්‍රදේශයේ සිය නිවස බලා ධාවනයේ යෙදුණු 25 හැවිරිදි තරුණයකු සහ තවත් අයකු ගමන්කළ යතුරුපැදියේ ගැටී අනතුර සිදුව ඇති බවද පොලිසිය පැවසීය. කැලණිය විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධිධරයකු වන සමන් අනුර මහතා මාවනැල්ල, යටියන්තොට, දැරණියගල, බුලත්කොහුපිටිය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ප්‍රාදේශීය ලේකම්වරයකු වශයෙන්ද, රබර් සංවර්ධන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයකු වශයෙන්ද, කෑගල්ල දිස්ත්‍රික්ක අතිරේක ලේකම්වරයකු ලෙසට ද කටයුතු කර ඇති බව ද සඳහන්ය. මිය යන විට ග්‍රාම සංවර්ධන පුහුණු හා පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂවරයකු වශයෙන් රාජකාරි කටයුතු කරමින් සිටි අයෙකි. මාණික්කාව, හිඟුල ප්‍රදේශයේ පදිංචිව සිටි 55 හැවිරිදි දෙදරු පියකු බවට ද සඳහන්ය. සමන් අනුර මහතාගේ දේහය මේ වන විට එෆ්.1/4, මාණික්කාව, හිඟුල නිවසේ තැම්පත් කර ඇති අතර අවසන් කටයුතු හෙට (2) මාවනැල්ල පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතව ඇති බවද ඥාතියෙක් පැවසීය. අනතුරට පත් යතුරුපැදිකරු අත්අඩංගුවට ගෙන අධිකරණ හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බව ද පොලිසිය පැවසීය. කෑගල්ල කොට්ඨාසභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වයි. එල්. ලීලවංශ, සහකාර පොලිස් අධිකාරි ප්‍රදීප් විරසේකර යන මහත්වරුන්ගේ උපදෙස් මත මාවනැල්ල වැඩබලන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක කේ. ඒ. ඩී. රොෂාන්ත මහතාගේ උපදෙස් මත රථ වාහන ඒකකය විමර්ශන සිදු කරයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT