දින තුනකට පෙර අතුරුදන්ව සිටී 24 හැව්රිදි තරුණියගේ කබරුන් කා දැමූ මළසිරුර ඇයගේ නිවසට කිලෝමීටර් පහක් පමණ ඈතින් වැලිපැන්න ඇළේ මීගම තොටුපොළ ආසන්නයේ ඉවුරක තිබී ඊයේ (30) පස්වරුවේ හමුවූ බව වැලිපැන්න පොලිසිය පවසයි . වැලිපැන්න පොලිසිය සහ මූණමල්වත්ත විශේෂ කාර්ය බළකා නිලධාරීන් එක්ව බෝට්ටු දෙකක් යොදා මළසිරුර කිලෝමීටර් පහක් පමණ දුරක සිට ඇළ මාර්ගය ඔස්සේ රැගෙන එන ලදී. වැලිපැන්න හිජ්රා මාවතේ පදිංචිව සිටී මොහොමඩ් අමීන් ෆාතිමා අස්මියා නමැති 24 හැව්රිදි තරුණියකගේ මළසිරුර මෙසේ හමුව ඇති බව පොලිසිය කීය.
වැලිපැන්න හිජ්රා මාවතේ පදිංචි තරුණියගේ පියා දින දෙකකට පෙර කළ පැමිණිල්ලක් මත ඇය සොයා පොලිසිය පරීක්ෂණ කල බවත් ඒ සදහා මාකෝ පොලිස් නිල සුනඛයාගේ සහයද ලබාගෙන තිබුණි. තරුණිය දින 27 දා රාත්රි සිට අතුරුදන් බවට පැමිණිල්ලේ සදහන්ව ඇති බවත් , ඇය නිවසේ පිටුපස දොරෙන් පිටව ගොස් ඇති බවට මෙතෙක් කළ පරීක්ෂණ වලදී තහවුරුව ඇති බවත් පොලිසිය කීය. අතුරුදන්ව තරුණිය පැළද සිටී සෙරෙප්පුවක් නිවස ආසන්නයේ පිහිටී වැලිපැන්න ඇළ ඉවුරේ තිබී සොයාගෙන තිබූ අතර ඒ අනුව ඇය දියේගිලී කිසියම් අනතුරක් සිදුව ඇති බවට අනුමාන කර පොලිසිය පොලිසිය පරීක්ෂණ සිදුකර තිබේ. තරුණිය කිසියම් අනතුරකට ලක්වූයේද යන්න සම්බන්දයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන බව සදහන් වේ.
හදිසි මරණ පරීක්ෂක නිහාල් ජයනෙත්ති මහතාගේ පරීක්ෂණයෙන් පසු පශ්චාත් මරණ පරීක්ෂණය සදහා දේහය කළුතර නාගොඩ ශීක්ෂණ රෝහලට රැගෙන යාමට නියමිතව තිබූණි .
ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක චාම්න්ද සිල්වා මහතාගේ ප්රධානත්වයෙන් වැලිපැන්න පොලිසිය පරීක්ෂණ පවත්වති.