නාරහේන්පිට උද්‍යාන පාරේදී පොලිස් නිලධාරියෙකුට පිහියකින් හා බෝතලයකින් පහර දී පලා යාමට උත්සාහ දැරූ සැකකරුවන් තිදෙනාගෙන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව වැල්ලවත්ත පොලිසිය කියයි.
තුවාල ලද පොලිස් කොස්තාපල් (10386) සේනානායක නිලධාරියා ප්‍රතිකාර සඳහා කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර ඇත. වැල්ලවත්ත හැව්ලොක් මාර්ගයේ හැව්ලොක් නිවාස සංකීර්ණය ඉදිරිපිට රථවාහන රාජකාරියෙදී සිටි පොලිස් සැරයන්වරයෙකු සහ තුවාල ලද කොස්තාපල්වරයා කොළඹ දෙස සිට හැව්ලොක් පාර ඔස්සේ කිරුළපන දෙසට ධාවනය වෙමින් තිබූ තිදෙනෙකු රැගත් යතුරුපැදිය සංඥා කර නවතා ඇතැයි පොලිසිය කියයි. අනතුරුව යතුරුපැදියෙන් පැමිණි පුද්ගලයන් පරීක්ෂා කිරීමට යාමේදී ඔවුන් තිදෙනා නාරාහේන්පිට උද්‍යාන පාර දෙසට දිව ගොස් ඇති අතර පසුව පොලිස් නිලධාරීන් දෙදෙනාද යතුරුපැදියෙන් සැකකරුවන් පසුපස හඹා යාමේදී එක් සැකකරුවකු කොස්තාපල්වරයාගේ වම් අතට පිහියකින් හා වීදුරු බෝතලයකින් පහරදීමෙන් නිලධාරියාගේ අතට තුවාල සිදුවී ඇතැයි පොලිසිය කියයි.
ඒ සමඟම ප්‍රදේශවාසීන් ද එම ස්ථානයට රැස් වී ඇති අතර පොලිස් නිලධාරීන් සමඟ එකතුව සැකකරුවන් අල්ලා ගෙන ඇති අතර එක් සැකකරුවෙකු සිද්ධියත් සමඟම පලාගොස් ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාගෙන් අයකු මනුෂ්‍ය ඝාතනයකට සම්බන්ධ පුද්ගලයකු බවත් පවසන පොලිසිය සැකකරුවන් දෙදෙනාම මත්ද්‍රව්‍ය පානය කර සිටි බවට අනාවරණය වී ඇතැයි පොලිසිය කියයි.
බොරැල්ල කිතුල්වත්ත පාර පදිංචි වයස අවුරුදු 21 හා 28 අතර පසු වන්නන් ය.
වැල්ලවත්ත පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුභාශ් කහදවල මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පැවැත්වේ.