චාමික කරුණාරත්නගේ දක්ෂ පන්දු යැවීමත් කුසල් ජනිත් පෙරේරාගේ වේගවත් පිතිහරඹයත් හේතුවෙන් අබුඩාබියේ පැවැත්වෙන ටී10 තරගාවලියේ 5 වැනි තරගයෙන් නිව්යෝර්ක් ස්ට්‍රයිකර්ස් පිලට කඩුලු 8ක ජයක් අත් විය.
මේ තරගයේදී නිව්යෝර්ක් පිල හමුවේ කුසල් මෙන්ඩිස් සහ දසුන් ශානක ක්‍රීඩා කරන බංග්ලා ටයිගර්ස් පිල පරාජයට පත් විය.
තරගයේ පළමුව පන්දුවට පහර දුන් බංග්ලා පිල ලකුණු 101ක් රැස් කළ අතර, එම ඉලක්කය ඕවර 7.4කදී සපුරාගත් නිව්යෝර්ක් පිලට අහිමි වූයේ කඩුලු 2ක් පමණි.
වේගවත් පිතිහරඹයක නිරත වූ කුසල් පෙරේරා නොදැවී ලකුණු 50ක් රැස් කළේ පන්දු 20කදී හතරේ පහර 7ක් සහ හයේ පහර 2ක් සමඟිනි. මුහම්මද් වසීම් ලකුණු 41ක් රැස් කළේය.
ජෝර්දාන් කොක්ස් ලකුණු 38ක් රැස් කරමින් පළමුව පන්දුවට පහර දුන් බංග්ලා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ අතර, කුසල් මෙන්ඩිස් ලකුණු 29ක් සහ දසුන් ශානක ලකුණු 6ක් රැස් කළහ. පන්දු යැවීමේදී චාමික කරුණාරත්න ලකුණු 22කට කඩුලු 3ක් දවාගත් අතර, මුහම්මද් ජවදුල්ලාහ් කඩුලු 2ක් දවා ගත්තේය. තරගයේ වීරයා සම්මානය චාමික කරුණාරත්නට හිමි විය.