Home » ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ පුහුණුකරුවෝ දෙදෙනෙක් ඉල්ලා අස් වෙති

ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ පුහුණුකරුවෝ දෙදෙනෙක් ඉල්ලා අස් වෙති

by mahesh
December 1, 2023 1:00 am 0 comment

ප්‍රින්ස් ගුණසේකර
ග්‍රාන්ට් ලුඩෙන් සහ ක්‍රිස් ක්ලාක්

ශ්‍රී ලංකා ක්‍රිකට් පිල සමඟ කටයුතු කළ ජාත්‍යන්තර මට්ටමේ දක්ෂ පුහුණුකරුවන් දෙදෙනකු පසුගිය කාලයේ මතුව තිබූ අවිනිශ්චිත තත්ත්වය හේතුවෙන් ඉල්ලා අස්වෙයි. ඉල්ලා අස්වීමට නිශ්චිත හේතුවක් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතට නොදන්වා පෞද්ගලික හේතුමත ඉවත්වන බව මේ පුහුණුකරුවන් දෙදෙනා පවසා ඇතැයි වාර්තා වේ.

මේ පුහුණුකරුවන් දෙදෙනාගේ කොන්ත්‍රාත් කාලය අවසන්වීමට තවත් වසරකට ආසන්න කාලයක් ඉතිරිව තිබියදී ඉවත්ව ගියේ ක්‍රිකට් වෙත මතු වූ අසහනකාරී තත්ත්වය හේතුවෙන් බව පැවසේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ශාරීරික කාර්ය සාධන කළමනාකරු දකුණු අප්‍රිකානු ජාතික ග්‍රාන්ට් ලුඩෙන් මහතා හා ජාතික කණ්ඩායමේ ප්‍රධාන භෞත චිකිත්සක එංගලන්තයේ ක්‍රිස් ක්ලාක් මහතා එසේ ඉල්ලා අස්වී ගිය පුහුණුකරුවෝ වෙති. ග්‍රාන්ට් ලුඩෙන් මහතා මෙයට වසර 2කට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් සමඟ කොන්ත්‍රාත් ගිවිසුමට එක්වූ අතර, ක්‍රිස් ක්ලාක් මහතා මේ වසරේ ජනවාරි මාසයේ සිට රාජකාරි ආරම්භ කළේය.

ශක්තිය සහ ශාරීරික කාර්ය සාධන ක්ෂේත්‍රයේ විශේෂඥයෙකු වන ලුඩෙන් මහතා ශ්‍රී ලංකාවේ ජාතික තලයේ ක්‍රීඩකයින්ගේ කායවර්ධන ශක්තීන් සංවර්ධනය කිරීම කෙරෙහි අවධානය යොමු කළ අතර, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සමස්ත භෞත චිකිත්සක සංවර්ධන වැඩසටහන් භාරව කටයුතු කළේය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සම්බන්ධ වීමට පෙර ඔහු 2014 වසරේ සිට 2019 වසර දක්වා පාකිස්තාන ක්‍රිකට් පිලේ පන්දු රැකීමේ පුහුණුකරුවෙකු ලෙස කටයුතු කර ඇති අතර, ලුඩෙන් බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලයේ භෞත චිකිත්සක සංවර්ධන වැඩසටහන් පුහුණුකරු ලෙස ද කටයුතු කර ඇත. ක්‍රීඩා සහ ව්‍යායාම තාක්‍ෂණය පිළිබඳ උපාධිධාරියෙකු වන ඔහු දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනයෙන් ක්‍රිකට් පුහුණුකරු සහතිකය ලබා සිටි අයෙකි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික කණ්ඩායමේ ප්‍රධාන භෞත චිකිත්සකවරයා ලෙස කටයුතු කළ ක්‍රිස් ක්ලාක් මහතා නැඟෙනහිර ලන්ඩන් විශ්වවිද්‍යාලයෙන් භෞත චිකිත්සාව පිළිබඳ ගෞරව උපාධියක් සහ ලන්ඩනයේ කිංග්ස් විද්‍යාලයෙන් උසස් භෞත චිකිත්සාව පිළිබඳ උපාධියක් ලබා ඇත. ඔහු එසෙක්ස් ප්‍රාන්ත ක්‍රිකට් සමාජයේ ප්‍රධාන භෞත චිකිත්සකවරයා ද විය. එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම සමඟ කටයුතු කළ ක්‍රිස් ක්ලාක් මහතා එංගලන්ත පිලේ භෞත චිකිත්සක වැඩසටහන් සම්පාදක ලෙස ද කටයුතු කළ දක්ෂ පුහුණුකරුවෙකි.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT