Home » ක්‍රීඩා ඇමැති හරීන්ගේ තීරණයකින් රජයට වසරකදී රු.කෝටි 5ක ඉතිරියක්

ක්‍රීඩා ඇමැති හරීන්ගේ තීරණයකින් රජයට වසරකදී රු.කෝටි 5ක ඉතිරියක්

රීඩ් මාවතේ ප්‍රධාන කාර්යාලය කුලී තැනක සිටි රාජ්‍ය ඇමැතිට දීලා

by mahesh
December 1, 2023 1:00 am 0 comment

ප්‍රින්ස් ගුණසේකර

නව ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා සංචාරක ඇමැතිවරයා ලෙස ද කටයුතු කරන බැවින් එම සංචාරක අමාත්‍යාංශයේ සිට ක්‍රීඩා අමාත්‍යාංශයට අදාළ රාජකාරි කටයුතු කිරීමට තීරණය කොට ඇත. එබැවින් ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ කුලී පදනම මත ලබා ගත් කාර්යාලයක රාජකාරි කටයුතුවල නිරතවූ ක්‍රීඩා රාජ්‍ය ඇමැති රෝහණ දිසානායක මහතාට රීඩ් මාවතේ පිහිටි ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු මහතාට වෙන්ව තිබූ ක්‍රීඩා අමාත්‍යාංශ ප්‍රධාන ගොඩනැඟිල්ලේ සිට කටයුතු කරන ලෙස ඇමැතිවරයා උපදෙස් ලබා දී තිබේ.

ක්‍රීඩා රාජ්‍ය ඇමැති රෝහණ දිසානායක මහතා කටයුතු කරන ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ පිහිටි කුලී පදනම මත පවත්වාගෙන ගිය කාර්යාලයට වසරකට කෝටි 5ක් පමණ රජයේ මුදල් වැයවන අතර, ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා ගත් මේ තීරණයෙන් එම මුදල සම්පූර්ණයෙන්ම ඉතිරි වේ. ඉතිරි වන මේ රුපියල් කෝටි පහක මුදල ජාතික ක්‍රීඩා අරමුදලට බැර කරන ලෙස ක්‍රීඩා ඇමැතිවරයා අමාත්‍යාංශ ලේකම් කේ. මහේෂන් මහතාට දැනුම් දී ඇත. ජාතික ක්‍රීඩා අරමුදල මඟින් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පුහුණුවීම් හා පෝෂණ දීමනා ඇතුළු ක්‍රීඩා සංවර්ධන කටයුතු සිදු කරන අතර, මේ මුදල් ඒ සඳහා උපයෝගී කරගත හැකිය.

මේ තීරණයෙන් පසු රීඩ් මාවතේ පිහිටි ක්‍රීඩා අමාත්‍යාංශයේ සිට ක්‍රීඩා රාජ්‍ය ඇමැති රෝහණ දිසානායක මහතා ඊයේ දිනයේ රාජකාරි කටයුතුවල නිරතවී සිටි අතර, රාජ්‍ය ඇමැතිවරයාට වැඩි වගකීමක් පැවැරීමට ද ඇමැතිවරයා අපේක්ෂාවෙන් සිටී.

ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා ක්‍රීඩා අමාත්‍යාංශ නිලධාරීන්ගේ හමුවකදී පවසා ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම කඩිනමින් ඉවත් කර ගැනීමේ සෑම ක්‍රියා මාර්ගයකටම අවශ්‍ය සහයෝගය ලබා දෙන ලෙසය. විදේශ ඇමැති අලි සබ්රි මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් විශේෂ කමිටුව සමඟ ඉතා සමීපව කටයුතු කොට එම කමිටුවේ නිර්දේශ අනුව කටයුතු කරමින් ක්‍රිකට් තහනම කඩිනමින් ඉවත් කර ගැනීමට අවශ්‍ය කටයුතු කරන බව ද ඇමැතිවරයා මේ හමුවේදී පැවසීය. ක්‍රීඩා අමාත්‍යාංශ නිලධාරීන් ඇමැතූ ඇමැතිවරයා කණ්ඩායමක් ලෙස ක්‍රියාකොට කිසිදු භේදයකින් තොරව ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ හා ක්‍රීඩාවේ දියුණුව වෙනුවෙන් කැපවී ක්‍රියා කරන ලෙස ද ඉල්ලා සිටියේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT