ආන්දෝලනාත්මක ප්‍රකාශ සිදු කරමින් අන්‍යාගමිකයන් අතර ඇති සංහිඳියාව බිඳහෙළන ආකාරයේ දේශන පැවැත්වූ බවට එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් විමර්ශන පවත්වා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් ෆෙඩ්රික් ක්‍රිස්ටෝපර් ජෙරොම් ප්‍රනාන්දු නොහොත් පාස්ටර් ජෙරොම් යන අය ලබන 13 දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (1) නියෝග කළේය.
සැකකාර ෆෙඩ්රික් ක්‍රිස්ටෝපර් ජෙරොම් ප්‍රනාන්දු නොහොත් පාස්ටර් ජෙරොම් යන අය ඔහුට අයත් මිනුවන්ගොඩ පාර කටුනායක පිහිටි මිරකල් ඩෝම් ආයතනයේදී පසුගිය අප්‍රේල් 30 දා සිදු කළ දේශනයෙන් සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත (ICCPR) යටතේ ගැනෙන වරදක් සිදු කර ඇති බවට ප්‍රමාණවත් කරුණු අධිකරණයට ඉදිරිපත්ව ඇති බවත්, ඉදිරිපත්ව ඇති අවස්ථානුගත කරුණු අනුව නිදහස් කිරිම නීතියට පහරක් වන බවට අධිකරණ මතය බවද කියමින් මහේස්ත්‍රාත්වරයා මේ නියෝගය කළේය.
“සෑම කෙනකුම එක සමානයි. නීතියට ඉහළින් කිසිවෙක් නැහැ. පරීක්ෂණ අවසන් කර නැහැ. සැකකරු විසින් කළ ප්‍රකාශය බැලූ බැල්මට සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත යටතේ ගැනෙන වරදක්” බව කියමින්, සැකකරු කුමන හෝ ඇපයක් මත මුදාහරින ලෙස ජනාධිපති නීතිඥ අනුර මැද්දගොඩ මහතා දීර්ඝ ලෙස කරුණු දක්වමින් සිදු කළ ඇප ඉල්ලීම මහේස්ත්‍රත්වරයා ප්‍රතික්ෂේප කළේය.
“බෞද්ධ ජනතාව සහ අන් ආගම් අතර දැඩි නොසන්සුන්කාරි තත්ත්වයක් ඇති වන ආකාරයේ ප්‍රකාශයක් සැකකරු අප්‍රේල් 30 දා සිදු කර තිබෙන බවට අධිකරණයට පැමිණිල්ල විසින් කරුණු වාර්තා කර තිබෙනවා. ඒ ප්‍රකාශය කිරීමෙන් අනතුරුව පැමිණිල්ල මැයි 15 දා, දින 15ට පසු සිදු කර තිබෙනවා. ඒ කාලය තුළ එම ප්‍රකාශය පුළුල්ව ප්‍රචාරය වීමෙන් සමාජය තුළ යම් නොසන්සුන්කාරි තත්ත්වයක් ඇති වූ බවත් එය දැන දැනම රටින් පිට වූවා යන්න අධිකරණය නිරීක්ෂණය කළා” යැයි තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මහේස්ත්‍රාත්වරයා කියා සිටියේය.
බෞද්ධ තොරතුරු කේන්ද්‍රයේ විධායක අධ්යක්ෂ අගුළුගල්ලේ සිරි ජිනානන්ද හිමියන් කළ පැමිණිල්ලක් අනුව සිදු කළ විමර්ශනයකින් පසු සැකකරු අත්අඩංගුවට ගත් බව පවසමින්, සැකකරු සිදු කළ පැයක දේශනයට අදාළ සීඩි තැටියද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණ භාරයට පත් කළේය. මේ සැකකරු සම්බන්යෙන් පුළුල් විමර්ශනයක් සිදු කරන බවත් කියා සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සැකකරුට අයත් ආයතනවලට විදේශ රටවලින් මුදල් විශාල ප්‍රමාණයක් ලැබී ඇති බවත් අයුතු ලාභයක් ලබා ඇද්ද යන්න සහ මුදල් විශුද්ධිකරණ පනත යටතේ ක්‍රියා කළ හැකිද යන්න පිළිබඳවත් විස්තරාත්මක වාර්තාවක් ඉදිරි දින ඉදිරිපත් කරන බවත් කියා සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සැකකරු රක්ෂිත බන්ධනාගාගරගත කරන ලෙස ඉල්ලා සිටියේය.
සැකකරු සම්බන්ධයෙන් ප්‍රධාන සාක්ෂි කිහිපයක් ඉදිරිපත් වී ඇති බවත්, ඒ සාක්ෂිකරුවන් බෞද්ධ කතෝලික ඉස්ලාම් හින්දු ඇතුළු ආගම් නියෝජනය කරමින් සාක්ෂි දී ඇති බව කී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තම සියලු සාක්ෂි ආගමික ශාස්තෘවරුන්ට ආගම් අදහස ආගමික භක්තිකයන්ට නිගරු වන ආකාරයේ ප්‍රකාශයක් බව කීය. ආගමික සංහිඳියාවට හානියක් වන ආකාරයෙන් කළ එම ප්‍රකාශය හේතුවෙන් යම් කලබලකාරි තත්ත්වයක් ඇති විය හැකි බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේය.
සැකකරු ඉදිරිපත් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ප්‍රගතිය මෙලෙස ඉදිරිපත් කළේය:
සැකකරු විදේශගත වීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණයට සහ අභියාචනාධිකරණයට රීට් පෙත්සම් ඉදිරිපත් කර තිබෙනවා. අභියාචනාධිකරණය සැකකරු විදේශගත වී පැමිණි පසු පැය 48ක් ඇතුළත දීර්ඝ ලෙස ප්‍රශ්න කරන ලෙස දැනුම් දී තිබෙනවා. ඒ අනුව ඊයේ පැය 8ක් ප්‍රශ්න කර, අද පැමිණෙන ලෙස දැනුම් දුන්නා. ඒ අනුව සැකකරුගෙන් අදත් ප්‍රශ්න කරනු ලැබුවා. සැකකරු සම්බන්ධයෙන් සාක්ෂිකරුවන් 9 දෙනකුගෙන් ලබාගත් ප්‍රකාශවල සම්පිණ්ඩන වාර්තා ඉදිරිපත් කරනවා. කතෝලික භක්තිකයන්ගේ කුතූහලය සහ අප්රසන්නතාව ඇවිස්සෙනසුලු ප්‍රකාශයක් සැකකරු සිදු කළ ප්‍රකාශයෙන් කර ඇති බව රෝමානු කතොලික ජනතාව වෙනුවෙන් රුවන් ලිවන්කා ෆොන්සේකා යන අය ප්‍රකාශ කර තිබෙනවා. ආගම් ශාස්තෘවරුන්ට ආගම් අදහන භක්තිකයන්ට නිගරු වන ආකාරයේ ප්‍රකාශයක් බවට හින්දු ආගමික තිරුවෙන්දුල් ප්‍රකාශ කර තිබෙනවා. එම ප්‍රකාශයෙන් අල්ලා දෙවියන් සමච්චලයට ලක් කර ඇති බව මුස්ලිම් පූජක මොහොමඩ් අස්ලම් ඔස්මන් නමැති අය ප්‍රකාශ කර තිබෙනවා. මේ ප්‍රකාශය සිදු කිරීමෙන් පසු බෞද්ධ ජනතාව අතර යම් නොසන්සුන්කාරි තත්ත්වයක් ඇති වූ බව නිරීක්ෂණය වූවා යැයි බෞද්ධ කටයුතු කොමසාරිස් ප්‍රකාශයක් දෙමින් පවසා තිබෙනවා. හින්දු භක්තිකයන් දැඩි කනස්සලට ඒ ප්‍රකාශයනේ පත් වූ බවත් ආගමික සහජීවනයට සංහිඳියාවට එම ප්‍රකාශයෙන් බාධාවක් වූ බවත් හින්දු ආගමික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ යකුකුලසිං අනුරුක්කම් යන අය ප්‍රකාශ කර ඇති අතර මුසිල්ම් ආගමික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ සෙයිදුල් ෆයිසර් යන අය එම ප්‍රකාශයෙන් කලබලකාරි තත්ත්වයක් ඇති වීමට ආසන්න වූ බවත් දැඩි පිළිකුලට පත් වූ බවත් කියා තිබෙනවා. නිර්ආගමික කටයුතු සංවිධානයේ අධ්යක්ෂ චතුරි නිරෝමා පිංතු යන අය පවසා ඇත්තේ බෝන් එගෙන් සමාජ සංවිධානය කතෝලික සභාවේ ලියාපදිංචිය ගෙන නැහැ. මේ දේශන මගින් බෞද්ධ කතෝලික හින්දු සහ ඉස්ලාම් යන ආගමික භක්තිකයන් මේ ප්‍රකාශයෙන් කළඹලකාරි තත්තවය පත් වූ බවත් අප්‍රසන්න තත්තවයට පත් වූ බවත් එම ප්‍රකාශ වල සඳහන් අතර සැකකරු සිදු කර ඇති ක්‍රියාදාමය 2007 සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත යටතේ ගැනෙන වරදක් සිදු කර ඇති බව විමර්ශනයෙන් පෙනී ගියා.
ජනාධිපති නීතිඥ අනුර මැද්දගොඩ මහතා: පසුගිය ජූනි මස 14 ගොනු කර ඇති වැඩිදුර වාර්තාවේ සඳහන් කරුණුම අදත් පොලිසිය ඉදිරිපත් කළා. ප්‍රකාශ සිදු කරනු ලැබුවේ අප්‍රේල් 30. මැයි 15 අධිකරණයට කරුණු වාර්තා කළා.
මහේස්ත්‍රාත්වරයා: මුල් පැමිණිල්ල සිදු කළේ කවදාද?
පොලිසිය: මැයි මස 15 වැනිදා.
මහේස්ත්‍රාත්වරයා: කරුණු වාර්තා කළේ කවදාද?
පොලිසිය: මැයි මස 16 වැනිදා
ජනාධිපති නීතිඥ අනුර මැද්දගොඩ මහතා: එම දේශනය සිදු කරනු ලැබුවේ ඔහුගේ පල්ලියේදී. නිතිපතා සිදු කරන දේශනයක්. විදේශවලත් දේශන යාච්ඤා සිදු කරනවා. මැයි 14 රාත්‍රි 12.50ට විදේශ ගත වුණේ. නැවත පැමිණෙන විට අත්අඩංගුවට ගන්නා බව දන්නා නිසා ආරක්ෂා වීමට ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරුවා. නොවැම්ර් 30 අභියාචනාධිකරණයේ නියෝග ප්‍රකාරව මෙරටට පැමිණියා. ඉන් පසුව ඒ නියෝග ප්‍රකාරව ප්‍රකාශයක් දීමට පැමිණියා. ඊයේ පැය 8ක ප්‍රකාශයක් දුන්නා අදත් එන්න කිව්වා අපි ගියා. එහිදී අත්අඩංගුවට ගත්තා. ජූනි 14 වාර්තාවේ කරුණුම ඉදිරිපත් කරමින් ICCPR පනත යටතේ ගැනෙන වරදක් සිදු කර ඇති බව කියනවා. කිසිම තැනකදී යුද්ධය පැතිරවීමක් හෝ ආගමික, ජාතික වෛරය පැතිරවීමක් ආගමික ජාතික සහජීවනයට හානියක් එම ප්‍රකාශයෙන් කර නැහැ. ප්රචණ්ඩත්වය හෝ ආගමික වෛරය පෙළඹවීමක් කර නැහැ. එම දේශනයෙන් එක වචයක්වත් බුදු දහමට, බුදුන් වහන්සේට අපහාසයක් වන අයුරින් සිදු කර නැහැ. එම ප්‍රකාශයේ පදනම් වන්නේ ආගාවේ (ආදරය කරුණාව) සංයුක්ත වන වචනයි. කිසිම කෙනෙකුට වෙනස් ආකාරයට සැලකිය යුතු නොවන බව දක්වා තිබෙනවා. එදිරිවාදිකම් ප්රචණ්ඩත්වය සංයුක්ත වන ආකාරයේ ජාතික ආගමික වෛරය පෙලඹවීමක් සිදු කර නැහැ. නටාෂා එදිරිසූරිය රක්ෂිත බන්ධනාගාරගත කළා. ඒ නඩුවත් මා ළඟ තිබෙනවා. සිත් රිදවන ප්‍රකාශයක් කළ පමණින් සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත (ICCPR) පනත යටතට ගැනෙන්නේ නැති බව එම තීන්දුවේ දක්වා තිබෙනවා. අධිකරණමය මනසකින් කටයුතු කර පියවර ගන්නවා විනා විමර්ශකයින් ඉදිරිපත් කළ පමණින් රක්ෂිත බන්ධනාගාර ගත නොකළ යුතු බවට එහි දක්වා තිබෙනවා. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව සෑම පුද්ගලයෙක්ම නිතිය ඉදිරියේ සමාන බව දක්වා තිබෙනවා. එමෙන්ම ඔහු නීතිය ඉදිරියේ නිර්දෝෂි පුද්ගලයෙක් බව දක්වා තිබෙනවා. ප්‍රකාශ කිරිමේ අයිතිය මෙන්ම භාෂණයේ නිදහස සෑම අයෙකුටම තිබෙනවා. මගේ සේවා දායකයා දී ඇති නිදහස උල්ලංඝනය කර නැහැ. වල් බූරුවන්ගේ අයිතිය ක්රියාමාත්ක කර නැහැ; දේශනයක් පැවැත්වුවා පමණයි. සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත (ICCPR) යටතේ වදරක් තබා අනුබල දීමක්වත් කර නැහැ. ඔහුගේ විදේශ ගමන් වළක්වා තිබෙන්නේ. අධිකරණය මඟහැර නැහැ. සුදුසු ඇපයක් මත ඔහු මුදාහරින්න.
මහේස්ත්‍රාත්වරයා: දීර්ඝ ලෙස ප්‍රශ්න කරන ලෙස අභියාචානාධිකරණ නියෝගයේ දක්වා තිබෙනවා.
ජනාධිපති නීතිඥ අනුර මැද්දගොඩ මහතා: ඇප දීමේ බලය තිබෙන්නේ මහාධිකරණයටයි. සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත (ICCPR) යටතේ අධිකරණ මනස සෑහීමකනට පත් වන ආකරයේ කරුණු ඉදිරිපත් වී තිබෙනවා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව: ප්‍රකාශයක් කළ බව විත්තියේ නීතිඥ මහතා කළ පිළිගැනීමෙන්ම වරදක් කර ඇති බව ඔප්පු වෙනවා. සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත (ICCPR) වරදක් කර ඇති බවට සහ ඊට ප්‍රමාණවත් කරුණු පවතින බවට පැමිණිල්ල විශ්වාස කරනවා. ඒ අනුව ඇප දීමට තබා, සලකා බැලීමටත්වත් පනත ප්‍රකාරව හැකියාක් නැහැ. එහෙයින් සැකකරු ඉදිරි දන දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ඉල්ලා සිටිනවා.
ජනාධිපති නීතිඥ අනුර මැද්දගොඩ මහතා: අධිකරණයට අභිමතානුසාරි බලයක් ඇප දීම සම්බන්ධයෙන් තිබෙනවා. නිර්දෝෂිභාවයේ පූර්ව නිගමනය සලකා බලන ලෙස ඉල්ලා සිටිනවා. සෑම පුද්ගලයකුටම සමානව සැලකීමේ බලය අධිකරණයට තිබෙනවා. ඒ ප්‍රකාශයෙන් සිත් රිදීමක් සිදු වූවා නම් සමාව දෙන ලෙස මැයි 23 සහ මැයි 26 සැකකරු ඉල්ලා සිටියා. නැවතත් සියලු ආගම්, ආගමික භක්තිකයන්ගෙන් සිත් රිදීමක් වූවා නම් සමා වෙන්න කියා ඉල්ලා සිටිනවා.
මහේස්ත්‍රාත්වරයා: අන්තර්ජාලය ඔස්සේ ආගමික ශාස්තෘවරුන්ට ආගමික භාක්තිකයන්ට ඔවුන්ගේ ඇදහිලි විවේචනය කරමින් ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා. දේශනා පැවැත්වීම සම්බන්ධයෙන් පොලිසිය අධීකරණයට කරුණු ඉදිරිපත් කළා. ඒ ප්‍රකාශයෙන් බුදුන් වහන්සේ බුද්ධත්වයට දේශනා කළද කිස්තුන් වහන්සේගේ අලෝකය බුදුන් වහන්සේ සොයා ගිය බවත් එහි දක්වා තිබෙනවා. ඒ ප්‍රකාශය සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත (ICCPR) පනත යටතට ගැනෙනවාද යන්න විමසා බැලිය යුතුයි. එම පනත කොටස් දෙකක් තිබෙනවා. එහි දෙවැනි කොටසේ වෛරය පෙලඹවීම තුළින් ප්රචණ්ඩත්වය ඇති කිරීම යන්න සැකකරුගේ ප්‍රකාශයේ සඳහන්ද නැද්ද යන්න විමසා බලමි. සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත (ICCPR) පනතේ 20 වගන්තිය ප්‍රකාරව ටොරොන්ටෝ රබාට් ක්‍රියාකාරි සමුළුවේදී මේ සම්බන්ධයෙන් දක්වා තිබෙනවා. සන්දරභය නමැති ක්‍රියාවට අනුව අදාළ ප්‍රකාශය සිදු කරන අවස්ථාවේ පැවැති දේශපලනික සාමාජීය තත්ත්වය ගැටුම්කාර තත්ත්වයක තිබුනේද යන්න සහ වෙනස් ලෙස සැලකීමේ තත්ත්වයක් තිබුණේද දීර්ඝ ලෙස ප්රචණ්ඩත්වයක් තිබුනේද යන්න සලකා බැලිය යුතු බව දක්වා තිබෙනවා. මෙම ප්‍රකාශය සලකා බැලීමේදී ශ්‍රී ලාංකේය ඉතිහාසයේ ජාතින් ආගමිකයන් අතර එවැනි ගැටුම්කාරි තත්ත්වයක් ඉතිහාසයේ පැවැති බවට ප්‍රමාණවත් කරුණු ඕන තරම් තිබෙනවා. වර්තමාන සංහිදියාව විටින් විට ගැටලු පැනනැඟී තිබෙනවා. රබාට් සැලැස්මේ වගන්ති දේශනා කරන්නා පරීක්ෂණ තත්වයේ ඇති බවත් ප්‍රකාශ කරනු පුද්ගලයා අන්‍යයන් කෙරෙහි කිසියම් බලපෑමක් කිරිමේ හැකියාවක් තිබේද යන්න සලකා බලයි. නිතිපතා මෙවැනි දේශනා පැවැත්වෙන බව විත්තිය කරුණු දැක්වීමේදී කියා ඇත.රබිට් සැලැස්මට අනුව චේතනාව වැදගත් වේ. ප්‍රති විපාකයන් දනිමින් වෛරී ප්‍රකාශ පතුරුවන්නේ නම් එහි ප්‍රති විපාකයන් වහාම සිදු වේ යැයි දැනුමක් ඇති විට එැවින් පුද්ගලයෙක් වරදක් කිරිමේ හැකියාව ඇති බවට එහි දක්වා තිබෙනවා. එමෙන්ම අන්තර්ගතයද එහි දක්වා තිබෙනවා. නිතිඥ මහතා සිදු කළ දේශනයේ යතුරු ලියන පිටපතක් ඉදිරිපත් කරමින් කරුණු දැක්වූවා. ප්‍රකාශයේ ප්රකෝපකාරි ස්වාභයක් ඉදිරිපත් කර තිබෙනවා. මේ දේශනාව දේශනා කරන විට එම අවස්ථාවේ ඔහුගේ අනුගාමිකයන් ඊට ඔල්වරසන් දෙමින් ඉහළ ප්‍රතිචාරයක් ලබා දී ඇති බව පෙනී යනවා. ඒ බව එම දේශනාව මාධ්‍ය මඟින් විකාශය වු අවස්ථාවේ දක්නට ලැබුණා. සැකකරු එය සිදු කළ ස්වරූපය පරීක්ෂා කිරීමේදී මේ බව පෙනී යනවා.
ඒ ප්‍රකාශයෙන් පසුව ඊට විරෝධය පළ කරමින් බෞද්ධ භික්ෂූන් ඇතුළු ආගමික පිරිස් දැඩි විවේචන සිදු කරනු දක්නට ලැබුණා. ඒ බව සැවොම දන්නවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව බෞද්ධාගම ආරක්ෂා කිරීම රජය මත පැවරී තිබෙනවා. භාෂණයේ නිදහස යම් සීමාවන්ට ලක් කර තිබෙනවා. භාෂණයේ නිදහස යනු අන්‍යයන්ට අපහාස කිරීමට දුන් බලපත්‍රයක් නෙවෙයි. සැකකරු බැලූ බැල්මට සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත (ICCPR) යටතේ වරදක් කළ බවට අධිකරණය සෑහීමකට පත් වනවා. මේ පනත යටතේ වරදක් කර ඇති විට ඇප ගත හැකි වන්නේ මහාධිකරණයෙන් පමණක්” යැයි කියමින් සැකකරු ලබන 13 දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
සැකකරු වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනුර මැද්දගොඩ මහතා ඇතුළු නීතිඥ මඬුල්ලක් අධිකරණයේ පෙනී සිට කරුණු දැක්වූ අතර, පැමිණිල්ල වෙනුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාවින්ද පියසේකර, සහකාර පොලිස් අධිකාරි දන්තනාරායන, උප පොලිස් පරීක්ෂක විජේසූරිය, අයගම, දයානන්ද මහත්වරු අධිකරණයට කරුණු දැක්වූහ.
ඡායාරූපය – ගයාන් පුෂ්පික