Saturday, May 10, 2025
Home » කිසිංගර් ආඛ්‍යානය

කිසිංගර් ආඛ්‍යානය

by gayan
December 2, 2023 1:00 am 0 comment

ගතවෙන සෑම මිනිත්තුවකටම මිනිස්සු එකසිය පනස් දෙනෙක් සිය දිවිය නිමා කරන්නාහ. ඊයේ උදෑසන එක් මිනිත්තුවකදී ඒ එකසිය පනස් දෙක අතරට හෙන්රි කිසිංගර් ද ඇතුළත් විය. ලෝකයේ දිශානතිය සහමුලින්ම වෙනස් කරන ලද මිනිසෙක් ලෙස සිය ජීවිතය නිමා කරගත් හෙතෙම, එදිනෙදා මියෙන මිනිසුන්ට වඩා වෙනස් මාතෘකාවකි. මේ තීරුව සිය දවසේ කතාව සඳහා හෙන්රි කිසිංගර් තෝරා ගත්තේ, මිනිසෙක් සිය රටේ දේශපාලන උන්නතිය උදෙසා කරන ලද සේවය පිළිබඳව හෙතෙම අනගි උදාහරණයක් වන හෙයිනි.

කිසිංගර් උපන්නේ ජර්මනියේය. යුදෙව් පවුලක්, ඒ සමයේ ජර්මනියේ ජීවත් වෙනවා කියන්නේ උප්පැන්න සහතිකයට වඩා මරණ සහතිකය ෂුවර් යන්නය. මරණය නැතිනම් වධ කඳවුරු අනිවාර්යෙන්ම නළලේ කොටන ලද හෙයින් එහෙවු ජීවිතය හැර පියා කිසිංගර් පවුල එක්සත් ජනපදයට පැන ආවේය.

එක්සත් ජනපද පාර්ශ්වයෙන් හමුදාවට බැඳෙන තෙක් ‘එකවුන්ටන් ජොබ්’ එකක් කළ ඔහු ‘පොරක්’ බවට පත්වන්නේ හමුදා සේවයේදීය. වයස අවුරුදු පහළොව තෙක් ජර්මනියේ විසූ හෙයින් ජර්මන් භාෂා ප්‍රවීණත්වය සහිත ඔහු ඉසිලූ හෙයින් ඔහු සටන් බිමේ මෙන් බුද්ධි සේවයේ ද එකසේ යෙදෙන්නට විය. ඔහුගේ ප්‍රියතම දඩයම වූයේ, හිට්ලර්ගේ ගෙස්ටාපෝ අනු ඛණ්ඩයේ, ඉහළ නිලධාරීන්ය. මේසා දස්කම් දක්වන ‘පිටින් ආපු එකා’ කෙරෙහි එක්සත් ජනපදයට කිසිදු දෙගිඩියාවක් තිබුණේ නැත.

මේ වනාහි අප ඇති කර ගත යුතු පුරුද්දකි. ගමට අලුතෙන් එකෙක් ආ කල්හි, වටේම එවුන්ට ඒකාගේ දියුණුව ඉහිලුම් දෙන්නේ නැත. ඔෆිස් එකකට අලුතින් ආ එකා ද මුලින් මුලින් කොන් කරන්නේය. ඔය පුරුද්ද පහළට කාන්දු වී, නවක වදය වැනි චාටර් පන්නයේ සිරිත් විශ්වවිද්‍යාලයන් හි බිහි වන්නේය. එහෙම නොවූ හෙයින් අමෙරිකාව, කිසිංගර් වෙත, ඉනිමගේ ඉහළටම යන්නට පොට පාදා දුන්නේය.

පිටියේදී මෙන්ම පාඩමේදී ද කිසිංගර් දක්ෂයෙක් විය. යුද සේවයට විරාමයක් දී උසස් අධ්‍යාපනය සඳහා ඔහු හාවඩ් විශ්වවිද්‍යාලයට ඇතුළත් විය. ශාස්ත්‍රවේදී උපාධිය සඳහා හේ ලියූ නිබන්ධනය ‘ඉතිහාසයේ අර්ථය’ නම් විය. පිටු 388ක් වූ එය හාවඩ් සරසවි ඉතිහාසයේ වැදගත්ම නිබන්ධනයක් ලෙස පිළිගැනීමකට ලක්ව ඇත්තේය. අපේ දරුවෝ ද මෙවන් ජාතිකවාදී පෞරුෂයන්ගෙන් ආදර්ශ ලබා ගත යුතුය. පාඩම් පොත හා සමානව ක්‍රීඩාව ද සමාජය ද ඇසුරු කරනා පුරවැසියා යනු රටේ ගාමක බලවේගයය. එවන් පුද්ගලයන් බහුල සමාජ සංස්ථාවක් යනු අනවරතව ජයග්‍රහණයේ දිශාව සඳහා පියමං කරනා දේශයකි. එක්සත් ජනපද බුද්ධි සේවය, රොකෆෙලර් පදනම ආදි වූ ලෝක ඉරණමේ තීරණාත්මක ස්ථාන නියෝජනය කළ ඔහු රිචඩ් නික්සන් අමෙරිකානු ජනාධිපති වූ විට, ජාතික ආරක්ෂාව සඳහා ජනාධිපතිගේ දකුණු අත බවට පත් විය. මේ කියන කාලය සීතල යුද්ධයේ දරුණු සටන් ඇවිළී ගිය සමයය. සටනට ගල උඩට පැමිණ තිබූ හෙයින් එක් කඳවුරක් පරාජය වූවා කියන්නේ ඒ රට ද කැබලි බවට පත්වනවා යන්නය. සෝවියට් දේශය සමඟ දික් ගැස්සුණු අරගලය අවසන් කරන මහා සැලසුම පළමුව දිග හැරෙන්නේ කිසිංගර්ගේ ඔළුව ඇතුළේය. ඔහු එතැනදී සදාචාර සම්පන්න මිනිසෙක් නොවීය. ලෝකය පුරා ලේ ගංගා ගලා ගිය ද ඒවා සිය මෙහෙවරේ නාමයෙන් හෙතෙම අමතක කළේය. ‘අරමුණ වෙනුවෙන් ක්‍රියාව සාධාරණය වේ’ යන්න කිසිංගර් ක්‍රියා පිළිවෙතේ මූලික ස්වරූපය විය.

නාපාම් බෝම්බ වරුසා රටවල් වෙත පතිත කරන ලද්දේ ඔහුගේ අණ අනුවය. එක්සත් ජනපද න්‍යාය පත්‍රය මිස අන් කිසිවක් ඔහු සිහිනයෙන් හෝ දුටුවේ නැත. සමාජවාදී අදහස් ලොව පුරා ව්‍යාප්ත වන්නට පටන් ගෙන තිබුණි. විප්ලවය වෙනුවට මැතිවරණ ජයග්‍රහණ ඔස්සේ සමාජවාදය ඒ ඒ රටවල විශේෂයෙන්ම ලතින් අමෙරිකානු කලාපයේ කර ඔසවා බලන්නට පටන්ගෙන තිබුණි.

සැල්වදෝර් ඇලෙන්ඩේ 1970 වසරේ චිලියේ මහ මැතිවරණයට ඉදිරිපත් විය. ඇලෙන්ඩේගේ ජයග්‍රහණය පිළිබඳව ඉව වැටුණු සැණින් කිසිංගර් කුමන්ත්‍රණය සඳහා බර අඩි තබන්නට විය. ‘තමන්ගේම මිනිසුන්ගේ වගකීම් විරහිතභාවය නිසා රටක් කොමියුනිස්ට් වෙනවා බලා සිටීමට අපට අවශ්‍ය වන්නේ මන්දැයි මට නොපෙනේ.’ යැයි හේ එක්සත් ජනපදයේ ඉහළ රහස් කල්ලියේ හතළිස් දෙනා අතර සාකච්ඡාවකදී පවසා සිටියේය. සමාජවාදී ආණ්ඩුවක් මැතිවරණයකදී පළමුවරට බලයට පත් කරමින්, චිලි ජනතාව විසින් සැල්වදෝර් ඇලෙන්ඩේ බලයට පත් කරන ලදී.

වසර දෙකක් තුළ ඒ ජයග්‍රහණය, ලේවැකි කුමන්ත්‍රණයකින් මර්දනය කිරීම සඳහා මහ මොළය වුයේ, ඊයේ සිතීම නතර කළ මිනිසාය. චිලිය සඳහා අභ්‍යන්තර කුමන්ත්‍රණයක් දියත් කරන ලද්දේ එක්සත් ජනපදය විසිනි. එරට හමුදා නායක ජෙනරාල් ෆිනෝෂෙ ලවා මෙහෙයවූ කුමන්ත්‍රණයෙන් චිලිය සමතලා විය. ඇලෙන්ඩේ මරා දැමීය. ඒ ‘ජයග්‍රහණයෙන්’ පසුව කිසිංගර් මෙසේ හඬ තැළුවේය. ‘චිලියේ හමුදාව විසින් ඒකාධිපති පාලනයකින් සහ එක්සත් ජනපදයේ සතුරෙකුගෙන් චිලිය බේරාගෙන ඇත.’

සෑම මිනිසෙක් පිළිබඳව දෙපැත්තක් බලා කතා කිව හැකිය. කිසිංගර් එයින් මිදෙන්නේ නැත. මිනිසා සාර්ථක වන තරමට හේ විවාද සම්පන්න වන්නේය.

1973 වසරේ හෙන්රි කිසිංගර් සහ ලී ඩක් තෝ වෙත නොබෙල් ප්‍රදානය හිමි වෙන බවට නිවේදනය විය. මෙතෙක් නොබෙල් කමිටුව වැඩියෙන්ම බැණුම් අසන ලද්දේ ඒ නම් දෙක සඳහා සම්මානය ලබා දෙන්නට තීරණය කළ විටය. විවාද සම්පන්න කියැවීම් හෙන්රි කිසිංගර් සම්බන්ධයන් ඒ තරම් ප්‍රබලය.

දැන් ඔහු දෑස් පියාගෙන තිබේ. රටක අභිමානය ඔහුගේ නිසල දේහය දෙස දෑස් දල්වා බලා සිටිනවා ඇත. මේ තීරුව අද අවධාරණය කරන්නේ මෙවන් චරිත හැදෑරීම පිණිස අපගේ ජනී ජනයා ද යොමු විය යුතු බවය. සරල ආකාරයෙන්, රටේ දේශපාලනය විග්‍රහ කරනවා වෙනුවට කිසිංගර් වැනි ආඛ්‍යාන ඔස්සේ ජාතික න්‍යාය පත්‍රය දෙස බලන්නේ නම් මේ අර්බුද සඳහා වෙනස් මාවත් ඔස්සේ, විසඳුම් පෙනී යනවා ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT