“සඳ රැජිනියනේ වැජඹෙන ගුවන අරා
දුටුවද මාගේ හද හිමි සුපෙම්බරා
තරු පායා දිලි දිලි මෝරා
එනවාද මඟ තෝරා”
(ගායනය – සුජාතා අත්තනායක)
“ජීවන විල මැද වැජඹෙන කැකුළකි
රූබර වූ යුවතී”
(ගායනය – සුජාතා අත්තනායක)
“ඇවිල්ල ඇවිල්ලා සිංහල අවුරුද්ද ඇවිල්ලා
වරෙල්ල වරෙල්ලා වැල්ලෙ පදිමු රන් ඔන්චිල්ලා”
(ගායනය – ලතා, බෙග් ක්‍රිස්ටි සහ පිරිස)
මේ චිත්‍රපට ගීත තරමක් පැරණි වුවත්, ඉඳ හිට හෝ ඔබට මතක ඇති. මේ ගීත නිර්මාණය කළේ සංගීත අධ්‍යක්ෂ එම්. කේ. රොක්සාමි විසිනි. චිත්‍රපට 55ක ගීත නිර්මාණය කරමින් චිත්‍රපට සංගීත අධ්‍යක්ෂණය කළ රොක්සාමි ජනප්‍රිය ගීත රැසක් සිංහල ප්‍රේක්ෂකයන්ට දායාද කළේය.
වයලීනය වාද්‍ය ශිල්පියකු වශයෙන් සිංහල සංගීතයට රොක්සාමි කළ මෙහෙය ගැන සටහන් කරමින් මහාචාර්ය සුනිල් ආරියරත්නයෝ “ ශ්‍රී ලාංකීක වයලීන් වාදකයන් අතර ශ්‍රේෂ්ඨතමයා රොක්සාමි යයි” පැවසූහ. රොක්සාමි ගාන්ධර්වයාගේ ගුණ සමරුවකදී සිංහල සිනමාවේ සක්විති ගාමිණී ෆොන්සේකා මෙසේ අදහස් දැක්වූයේ ය.
“මොහොතකට දෑස පියාගත් කල ඔහුගේ සුමිහිරි වයලීනය අදත් අප දෙසවන් පාරයි. “දන්නෝ බුදුන්ගේ ශ්‍රී ධර්මස්කන්දා” ගීතය දහසක් හඬින් වාදනයෙන් අප අසා ඇත. එහෙත් රොක්සාමිගේ වයලීනය ඒ පැරණි ගීයට වයලීනයෙන් හඬ දෙත්ම මගේ දෑසට කඳුළු පිරුණේය.”
ගාමිණී තමා සිනමාවට එක්වීම පෙර (1955) සිට රොක්සාමිව හඳුනන්නේ යයි කියා තිබුණි. සුබේන්ද්‍ර දත් නම් විශිෂ්ට නැටුම් ශිල්පියාගේ නිවසේදීය. ඒ කි සුබේන්ද්‍ර දත් බෙංගාලි ජාතිකයෙකි. ප්‍රේමනාත් භාරත පවුලක පුතෙකි. එදා ‘රොක්’ නමින් මිතුරන් හැඳින්වූ රොක්සාමි සංගීතය කොතැනද එතැන පෙනී සිටියේය. මල්ලව පොර ශූරයකු වූ ප්‍රේමනාත් සහ බර එසවීමේ ක්‍රීඩාවට යොමු වූ රොක්සාමි ද නැටුමට දස්කම් පෑ සුබේන්ද්‍ර දත් (කොළඹ ආනන්ද විද්‍යාලයේ නැටුම් ගුරුවරයා පෙනුමෙන් යෝධයන් වුවත් ඔවුන් තුළ තිබුණේ මානව දයාව හා ගුණගරුක බව යැයි ගාමිණී පවසා තිබුණි. බර එසවීමේ ක්‍රීඩාවේ ශූරයකු වූ ගාමිණී, ප්‍රේමනාත්, සුබේන්ද්‍ර හා රොක්සාමි යන සිවු දෙනා පාරට බැස්ස කල බලා සිටින අයට ඔවුන් පෙනුණේ යෝධයන් ලෙසටය.
“රොක්” මා දකින්නේ දිව්‍යමය ගාන්ධර්වයෙක් ලෙසයි” ගාමිණී රොක්සාමි ගැන වරක් එසේ සඳහන් කර ඇත.
රොක්සාමිගේ ජීවිතයේ පැටිකිරිය සුනිල් ආරියරත්න මහාචාර්යවරයා විසින් ලියූ ‘ගාන්ධර්ව අපදාන’ කෘතියේ සඳහන්ව තිබුණි. රොක්සාමිගේ පියා මරියාකොලන්දේ සාමිය. මව ඇනා මාරි මෝසස්ය. මේ දෙදෙනාම දකුණු ඉන්දියාවේ පොන්ඩිචෙරි කොළනියේ උපන් අය වෙති. ඈන්ගේ ප්‍රථම විවාහයෙන් (ලාසරස්ට දාව) දරුවන් තිදෙනෙකු වූහ. මාරියාකොලන්දේ සාමිට දාව ඇනාට ඇන්තනි සාමි, ක්‍රිස්ටි රොක්සාමි බැස්ටියන් සාමි යන පුතුන් තිදෙනෙකු වූහ. රොක්සාමිගේ ජාතිය දෙමළය. මවු බස දෙමළය. ආගම රෝමානු කතෝලිකය.
කැපී පෙනුණු පාපන්දු ක්‍රීඩකයා
මාරියාකොලන්දේ ක්‍රිස්ටි රොක්සාමි නොහොත් රොක්සාමි 1932 සැප්තැම්බර් 13 වෙනිදා ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ ඇල්පිටියේ උපත ලැබීය. කොළඹ පැමිණි ඔහු කොම්පඤ්ඤවීදියේ ඇන්ඩර්සන් විද්‍යාලයේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගෙන ගත්තේය. පාසැලේදී ඔහු දක්ෂ පාපන්දු ක්‍රීඩකයෙකු ලෙස කැපී පෙනුණේය. වර්ණලාභියෙකු විය.
රොක්සාමි සංගීතයට වහ වැටුණේ තම පියාත්, මවත් සංගීතයට ලැදි යුවළක් වීම නිසාය. අම්මා සර්පිනා වාදනයට ද පියා වයලීන වාදනයට ද දස්කම් පෑහ. ඒ දස්කම් බලා රොක්සාමිගේ වැඩිමහල් සොහොයුරා ඇන්තනි සාමි වයලීනයට සූරයෙක් විය. අම්මා සර්පිනාව වාදනය කරමින්, ‘මනමේ’ නාටකයේ එන ‘ප්‍රේමයෙන් මන රංජිත’ සින්දුවේ තනුව තියෙන දෙමළ සින්දුව කියූ හැටි රොක්සාමිට මතක ඇත. රොක්සාමි හා ඇන්තනී සාමි වයලීනය හුරු කළ පියා ඔවුන් සාරංගලිංගම් සංගීත ගුරුවරයාට භාර දී ඇති බව ‘ගාන්ධර්ව අපදානයේ’ සඳහන් වෙයි.
හැම සංගීත භාණ්ඩයක්ම ඉගෙන ගත් රොක්සාමි හාපුරා කියා සුසිල් ප්‍රේමරත්නගේ ගුවන් විදුලියේ සරල ගීයට වයලීනයෙන් වාදක මණ්ඩලයට සහාය වී ඇත. ඔහුට ගුවන් විදුලියේ වාදක මණ්ඩලයට සම්බන්ධ වීමට අතහිත දුන්නේ සංගීතඥ ආර්.ඒ. චන්ද්‍රසේනය. “බණ්ඩා නගරයට පැමිණීම” චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂක ආර්. මුත්තුසාමිට 1950 වසරේ රොක්සාමි වයලීන වාදකයකු ලෙස සහභාගි කර ගැනීමට රෙකමදාරු කරන්නේ තබ්ලා වාද්‍ය ශිල්පි එම්. ආරියදාස, ජේ.ඒ. සත්‍යදාස, ටී.එෆ්. ලතීෆ් යන වාද්‍ය ශිල්පීන් බව ඔහු කෘතඥතා පූර්වකව සඳහන් කර ඇත.
රොක්සාමි චිත්‍රපට සංගීත අධ්‍යක්ෂවරයකු ලෙස දොරට වඩින්නේ ශාන්ති කුමාර් සෙනෙවිරත්න අධ්‍යක්ෂණය කළ “සංසාරේ” චිත්‍රපටයෙනි. එහි එච්. ආර්. ජෝතිපාල සමඟ චන්ද්‍රා ද සිල්වා ගැයූ ‘හිනා වෙන්නේ ඇයි මේ – පිපෙනා මල නෙළනා තුරු පුල පුලා සිටින්නේ’ ගීතය එදා අතිශයින් ජනප්‍රිය විය. එහි ගීත රචනය කරුණාරත්න අබේසේකරයි. “සුහද සොහොයුරෝ” ද සංගීතය මෙහෙයවමින් නිර්මාණය කළ ‘දිය රැල්ල වෙරළෙ හැපි හැපි මොකද හාදු දෙන්නේ”(ගායනය – ෆ්‍රෙඩී සිල්වා සහ පුෂ්ප රාණි ආරියරත්න) “පිබිදෙන සෝබා පියුමක සේ” (ගායනය – මොහිදීන් බෙග්) ගීත දෙක නිසා රොක්සාමිට පුළුල් ලෙස චිත්‍රපට සංගීතය ක්ෂේත්‍රයට පිවිසීමට රුකුලක් විය.
රොක්සාමිගේ ස්වතන්ත්‍ර මිහිරි ගී තනු නිර්මාණය කළ “ධීවරයෝ” චිත්‍රපටයේ මේ ගීත ඔබේ මතකයේ ලියැවී ඇතැයි සැක නැත.
“වැල්ල සිඹින රැල්ල අපට මෙහෙම කියනවා
අදට වඩා එළියක් හඳක් හෙට පායනවා”
(ගායනය – බෙග්/මල්ලිකා/ක්‍රිස්ටි)
“අගාධ සාගරයේ ඈත දියේ බිලි බෑමී
අනන්ත බාධක මැද සුවසේ වෙරළට ආමී”
(ගායනය – මිල්ටන් පෙරේරා)
“සතුට සෝකේ ජය පරාදේ
අපටමයි මේ ලෝකයේ”
(ගායනය – ලතා)
“චණ්ඩාලි” චිත්‍රපටයට ද රොක්සාමි නිර්මාණය කළ ස්වතන්ත්‍ර ගීත ද අතිශය ජනප්‍රිය විය.
“මැණිකක් රකිනා නා රජිඳෙකු සේ මම ඔබ නිරතුරු රකිමි
මොහොතක් පාසා නිල්මිණි කියනා නාමය මතුරා කියමි”
(ගායනය -බෙග් සහ රාණි පෙරේරා)
“සඳෙහි සඳුන් වනේ
සීත සුවය දැනේ
පරම සොඳුරු ආලේ
විජය ධජය පෙනේ”
(ගායනය – බෙග් හා රාණි පෙරේරා)
කඳ සුරිඳුගේ තෙද බලේ
“ධීවරයෝ” හා “චණ්ඩාලි” චිත්‍රපට ගීත 1964 වසරේ කැපී පෙණුනේය. කරුණාරත්න අබේසේකර මේ ගීතවල රචකයාය. “මහ රෑ හමු වූ ස්ත්‍රිය” (1966) රොක්සාමිගේ නිර්මාණාත්මක චිත්‍රපට අතර සුවිශේෂී වූයේ කතරගම දෙවිඳුන් ගැන ලියූ හොඳම නිර්මාණය බව සනිටුහන් කරවමිනි.
“සරවන බව කඳ සුරිඳුගෙ තෙද බලේ
පළ කර තුරුලිය ඔද කළ මඳ නලේ
සිඹ සිඹ දෙව් සැපැති මැණික් ගං තලේ
සැතපුව මැන සුව යහනක තුන් හෙළේ”
කතරගම දෙවිඳුන්ට අසීමිත භක්තියක් ඇති කරුණාරත්න අබේසේකර මේ ගීතය රචනාකොට රොක්සාමි ලවා තනුව සකස් කරන විට කිසියම් විස්මිත බලයකින් එය සිදු වූ බව කරූ පුවත්පතකට කියා තිබුණි. මොහිදීන් බෙග් එක වතාවකින්ම ගීත ගයා ඇත. බෞද්ධ, කතෝලික, ඉස්ලාම් භක්තිකයන් තිදෙනෙකුගේ දායකත්වයෙන් නිමැවූ මේ ගීතයට 1967 සරසවිය සම්මාන උලෙළේ දී කරූට හොඳම ගීත රචක ලෙස සම්මාන පිරි නැමිණ. රොක්සාමි ‘සිඟිති සුරතල්’ චිත්‍රපටයේ මිල්ටන් පෙරේරා ගැයූ ‘නිදහස් කාහල නාදේ’ ගීතයේ රචනය සඳහා කරූට සරසවිය සම්මානය හිමි විය.
මේ චිත්‍රපටයේ එන ‘සිහින ගඟෙහි පීනා පීනා රිදී දියේ’, ‘ජීවන විල මැද’ ගීත එදා ප්‍රේක්ෂක මුවෙහි රැව් දුන්හ. රොක්සාමිගේ සංගීතාවලියෙන් (1962 – 1966) ඔහොම හොඳද, හාර ලක්සේ, එදත් සූරයා අදත් සූරයා, ශීලා, සකුන්තලා චිත්‍රපට මෙන්ම ධර්මසේන පතිරාජගේ ‘පොන්මනි’, ජෝ දේව් ආනන්ද්ගේ ‘රත්තන්තින් රත්කමේ, කේ. වෙන්කට්ගේ ‘මාමියර් වීඩු’, එස්.වී.චන්ද්‍රන් ගේ ‘උලංගල් නෝලන්’ රොක්සාමි සංගීතය නිර්මාණය කළ ශ්‍රී ලාංකේය ද්‍රවිඩ චිත්‍රපටය.
රොක්සාමිට සිය අනාගත සහකාරිය වූ ඉන්ද්‍රාණි එස්. එලායස් හමුවන්නේ ඔහු සංගීත අධ්‍යක්ෂණය කළ ‘සැකය’ චිත්‍රපටයේ ගීත පටිගත කළ අවස්ථාවේදීය. මේ චිත්‍රපටයට ආධුනික ගායිකාවන් අවශ්‍ය බව දැක්වෙන දැන්වීමක් ඔස්සේ පුස්සැල්ලාවේ සිට පැමිණි ඉන්ද්‍රාණි තමාට දුර නෑකමක් ඇති බව දැනගත් පසු පළමු හමුවීමෙන් ඔහුට ඇය පිළිබඳ සිතක් ඇති වූයේය. 1974 වසරේ විවාහ වූ රොක්සාමි හා ඉන්ද්‍රාණි යුවළට දරුවන් තිදෙනෙකු වූහ. ජීවන් ඔස්ටින් වැඩිමහල් පුතාය. ඇනා රාධිකා හා ඇන්ජලා දේවිකා දියණියෝ වෙති.
රොක්සාමි විසින් ගුවන් විදුලියේ වෙෙළඳ සේවයට නිර්මාණය කළ ගීත සමුච්චයෙන් කිහිපයකි මේ.
“පොඩි කාලේ අපි දෙන්නා සුදු වැලි පාරේ
ගී ගයමින් ගිය හැටි මතකද ගං තිරේ”
(ගායනය – මිල්ටන් පෙරේරා)
“සිතුම් පැතුම් පොදි ආදරේ
බැඳන් ආවේ
ආයාසයකිනි කියන්න බැරි තරමේ
(ගායනය – මිල්ටන් මල්ලවාරච්චි)
“බුදු සාමිනී සිරි පා පියුම්
කරමී බැතින් පිණිපා
ගුණෙනි සෙමී සෙත පෑ හිමී
කරුණා සුවේ සතපා”
(ගායනය – ඉන්ද්‍රාණි විජේබණ්ඩාර)
මීට අමතරව ජෝතිපාල විසින් ගැයූ “අඬන්නේ ඇයි සුදු මැණිකේ”, “වයන්න සිතාරේ”, “අපි දෙන්නා පොකුණයි පියුමයි වාගේ” ගැයූ ගීත ද සුවිශේෂිය.
ගාන්ධර්ව අපදාන
මෙහි පළවන නිවැරැදි ගේය පද රචනා හා ඇතැම් දත්ත මහාචාර්ය සුනිල් ආරියරත්න විසින් රචිත ‘ගාන්ධර්ව අපදාන – 2) කෘතියෙන් උපුටා ගන්නා ලදි. නවසිය අසූ තුනේ ජූලි මාසය රොක්සාමිගේ ජීවිතයට කණ කොකා හැඬුවේය. ඒ අවාසනාවන්ත කාල පරිච්ඡේදය ගැන විජිත් කුමාර් සේනාරත්න විසින් ලියූ “සඳ මිදුලේ රන් මීවිත” ග්‍රන්ථයේ (මුනිවරයාගේ හංස ගීතය) පරිච්ඡේදයේ මෙසේ සඳහන් වෙයි.
‘නවසිය අසූතුනේ ජූලි මාසයේ දිනක අහසට නැඟි කළු වලා රොක්සාමි පදිංචිව සිටි හැඳල ප්‍රදේශයට ද ඇදී ගියේය. අහල පහල නිවාස කිහිපයක වහලේ උළුකැට පරයමින් ගිනි දැල් අහස ආක්‍රමණය කරන්නට වූයේය. මහා හඬක් නඟමින් කිසියම් වාහනයක ටයරයක් පුපුරා ගියේය. ඔහු තිගැස්සුණේය. ශබ්දාගාරවල වැඩි කාලයක් ගත කළ වයලීනය කම්බි පොටක් හදිසියේ කැඩුණු විට ඇසෙන හඬකට වැඩි රළු ශබ්ද කෙරෙහි, ඔහුගේ සංවේදි සවන් හුරු නොවූ තරම්ය. ඊළඟ මොහොතේ ඔහු නෙත ගැටුණේ කලබලයෙන් එහා මෙහා දිව යන මිනිස්සුය. ඇතැමුන් කෑකෝ ගැසූහ. මේ මාර සේනා තම නිවසටත් ඒ දෝයි චකිතයක්, භීතියක් පවුලේ සියලු දෙනා අතර විණි. මාස්ටර්ගේ බිරිය සහ දරුවෝ කිසියම් තීරණයකට එළඹියහ. ජීවිත ආශාව පෙරදැරිව රොක්සාමි සිය බිරිය ඇගේ මහගෙදරටත්, දරුවන් කිහිප පොළකටත් ගොස් සැඟව ගත්හ.”
මේ ව්‍යසනය ඇසූ සහෝදර සංගීතඥ සරත් දසනායක හැඳල රොක්සාමිගේ නිවසට ගිය විට දක්නට ලැබී ඇත්තේ රොක්සාමිගේ හදවත බඳු වූ වයලීනය වත්තේ කොනකට වීසි කර දමා තිබූ අන්දමය. මේ වයලීනයෙන් කොපමණ මියුරු ගී මැවෙන්නට ඇති ද? ප්‍රේමසිරි කේමදාස, වික්ටර් රත්නායක, සුජාතා අත්තනායක ඇතුළු පිරිස බිඳුණු වයලීනය වෙනුවට අලුත් වයලීන දෙකක් තෑගි දුන්හ. මෙතරම් බාධක මැද සිනාවෙන් ඉවසා සිටි සංගීත අසපුවේ මුනිවරයා රොක්සාමි ගැන මහාචාර්ය සුනිල් ආරියරත්න විසින් ලියූ මේ සටහනින් ලිපිය අවසන් කරමි.
“තරුණ කාලයෙහි පටන් මිතුරන් සමඟ මධුවිතක් පානය කිරීම රොක්සාමිගේ සිරිත විය. මෙය ඔහුගේ ශරීර සෞඛ්‍යයට අහිතකර ලෙස බලපෑවේය. වෛද්‍ය උපදෙස් මත සැක්සෆෝන් වාදනය නවතා දමන්ට ද ඔහුට සිදු විය. සැක්සෆෝනය පිඹීම සඳහා දැඩි සේ හුස්ම ගැනීම අයහපත් යැයි වෛද්‍යවරු පැවසූහ. රොක්සාමි වරින්වර රෝගාතුර වූයේය. ඔහුගේ අක්මාවේ පිළිකාවක් සෑදී ඇති බව වෛද්‍ය පරීක්ෂණවලින් එළිදරවු විය. ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කරනු ලැබූ රොක්සාමි අවුරුදු 56ක් ආයු වලඳා 1988 නොවැම්බර් 30 වෙනිදා අවසන් හුස්ම හෙළීය. ඔහුගේ අවසන් කටයුතු හැඳල නායකකන්දේ රෝමානු කතෝලික සුසාන භූමියේදී සිදු කෙරිණි.
ඒ.ඩී. රන්ජිත් කුමාර