Home » ඉතාලියේ කාන්තාවෝ කොලෝසියම දෙදරවති

ඉතාලියේ කාන්තාවෝ කොලෝසියම දෙදරවති

by gayan
December 2, 2023 1:00 am 0 comment

ලෝකයේ කාන්තාවන් සාමූහික වශයෙන් එකම දිනක එක්රැස්වීම අපට දක්නට ලැබෙන්නේ බොහෝ විට ජගත් කාන්තා දිනය මුල්කර ගනිමින් සෑම වසරකම මාර්තු 8 වනදාය. වසරේ අනෙකුත් දින සියල්ලටම වඩා ඔවුනට එය වැදගත් වන්නේ තම අයිතිවාසිකම් සම්බන්ධයෙන් හඬ නඟා කතා කළ හැකි වේදිකාවක් ගොඩනැඟෙන හෙයිනි. 2022 දෙසැම්බරයේ ඉරානයේදී ද විශාල වශයෙන් කාන්තා උද්ඝෝෂණයක් පැවතිණි. එහිදී ඔවුන් ඉල්ලා සිටියේ තම නිදහසයි. හිජාබය නොමැතිව සිටින තරුණියන් පාසල් තුළට ඇතුළත් නොකර ගැනීමට මෙන්ම හිජාබය නොමැති නම් සිරදඬුවමකට පවා ලක් වීමට තරම් හිරිහැරයන්ට පවා ඔවුනට ලක් වීමට සිදුව තිබිණි. එය තවත් කවර ආකාරයෙන් ක්‍රියාත්මක ද යත් අන් රටවල රථවාහන වැරදි සෙවීමට CCTV සවිකර ඇතුවාක් මෙන් හිජාබය නොපලඳින කාන්තාවන් සෙවීමේ අරමුණින් වීදිවල CCTV පවා සවිකිරීමට තරම් ඉරාන බලධාරීන් ක්‍රියාත්මකව තිබේ. පෙර සඳහන් කළාක් මෙන් 2022 දෙසැම්බරයේදී ඉරානයේ ජනතා නැඟිටීම සිදු වූයේ කාන්තා හිංසනයට එරෙහිවය. ඔවුන්ගේ සටන් පාඨ තුළ අන්තර්ගතව පැවතියේ කාන්තාව, ජීවිතය සහ නිදහස යන්නයි.

2022 වසර අවසානයේ එසේ වන විට යළිත් වරක් 2023 අවසාන‍ෙය් වන විට ඉතාලියේ කොලෝසියම් ක්‍රීඩාංගණයෙන් පැනනැඟෙන්නේ ද එවන් වූ උද්ඝෝෂණයකි. නොවැම්බර් 24 වනදා තෙක් ලෝකයේ පුදුම 7 අතරට එක්වූ කොලෝසියම 25 වනදා ලෝකයම පුදුම කරන්නට සමත් වූයේ කාන්තා උද්ඝෝෂණයත් සමඟිනි. එයට හේතු වූයේ රෝමයේ 22 හැවිරිදි විශ්වවිද්‍යාල සිසුවියක් වන Giulia Cecchettinගේ පැරණි පෙම්වතා Fillippo විසින් ඇයව ඝාතනය කිරීමයි. ඇයගේ සිරුර පොලිසියට සොයා ගැනීමට හැකියාව ලැබුණේ පසුගිය නොවැම්බර් 18 වන දින ඇල්ප්ස් කඳු පාමුල වැවක් අසල කානුවක් තුළදී කළු පැහැති උරවලින් ආවරණය කර තිබියදීය.

2023 නොවැම්බර් 25

තම හිටපු පෙම්වතිය ඝාතනය කළා යැයි සැක කළ තරුණයා අවසානයේ නතර වන්නේ ජර්මනියේය. මෙය ඉතාලි ජාතිකයන්ගේ ඉවසීමේ සීමාව ඉක්මවා යන්නක් විය. එහි ප්‍රතිඵලය වූයේ ජර්මනියේ සිටි සැකකාර තරුණයා ජර්මනියෙන් ඉතාලියට පිටුවහල් කිරීමයි. මෙම සිදුවීම හා කාන්තාවන් වෙනුවෙන් සිදු වූ තවත් ප්‍රචණ්ඩ ක්‍රියාවන් මුල්කර ගනිමින් නොවැම්බර් 25 වන සෙනසුරාදා ඉතාලියේ මිලාන් හිදී කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය පිටුදැකීමේ ජාත්‍යන්තර දිනය නිමිත්තෙන් විරෝධතාවක් ආරම්භ කරන ලදි. මෙහි තවත් කොටසක් ලෙස රෝමයේ සහ ඉතාලියේ නගරයන්හි දහස් ගණනින් ජනතාව වීදි බැසීමට අපේක්ෂාවෙන් සිටියහ. මේ සති අන්තය යනු ඉතාලි ජනතාවට අමතක නොවන දිනයක් වීමට ද ඉඩ ඇත. මන්ද දහස් ගණන් ජනතාව රෝමයේ සහ අනෙකුත් ප්‍රධාන නගරවල රැස්වනු ඇතැයි උද්ඝෝෂකයන් බලාපොරොත්තු වන බැවිනි. සංවිධායකයින් පවසන්නේ කාන්තාවන්ට සහ තරුණියන්ට එරෙහිව සිදු වන ප්‍රචණ්ඩත්වයට සහ පුරුෂාධිපත්‍යයට එරෙහිව ඉතාලියේ පැවති ආකල්පයන්හි වෙනසක් සිදු වෙමින් පවතින බවය.

22 හැවිරිදි Giulia Cecchettin ඝාතනය කරනු ලැබුවේ පාදුවා විශ්වවිද්‍යාලයෙන් තම ඉංජිනේරු උපාධිය ලබා ගැනීමට දින කිහිපයකට පෙරදීය. Filipp තම පැරණි පෙම්වතිය ඝාතනය කර තිබුණේ පිහි ඇනුමකින් වන අතර, ප්‍රාණය නිරුද්ධ සිරුර සොයා ගන්නා විට ඇයගේ සිරුරේ පිහි ඇනුම් මඟින් ඇති වූ තුවාල කිහිපයක් ද පැවති බව පොලිසිය සඳහන් කර සිටියේය. කෙසේ වෙතත් සැකකාර ශිෂ්‍යයා ජර්මනියෙන් පිටුවහල් කර පසුගිය සෙනසුරාදා පාන්දර මැදියම වන විට ඉතාලියේ වැනිස් ගුවන්තොටුපළට පැමිණීමත් සමඟ ඔහුව අත්අඩංගුවට ගත් විමර්ශන නිලධාරීන් උතුරු වෙරෝනාහි බන්ධනාගාරයට මාරුකර යවන ලද බව ඉතාලි පුවත් සේවා සඳහන් කර සිටියේය.

මේ අත්අඩංගුවට ගැනීමෙන් පසු කාන්තාවන්ට එරෙහිව සිදු වන ප්‍රචණ්ඩත්වය පිළිබඳව බොහෝ දෙනෙක් කතාබහ කරන්නට වූහ. අතීතයේ සිට වත්මන දක්වා පැවතියේ කාන්තා ප්‍රචණ්ඩත්වයට එරෙහි විය යුතුය; සමානාත්මතාව ආදී නිර්මාණාත්මක වචනයි. එය ලෝකයේ බොහෝ රටවලට පොදු භාවිතයක් විය. ඉතාලියට ද එය ඒ ආකාරයෙන්ම විය.

කෙසේ වුව ඉතාලියේ පැවතෙන්නේ පීතෘමූලික ක්‍රමයක්ය යන්න මත පිහිටා විරෝධයේ ආරම්භය ඇතිවිය. Cecchettin ගේ ඝාතනයත් සමඟ බොහෝ කාන්තාවන් පවසා සිටින්නේ පීතෘමූලික ආකල්පයන් ඉතාලිය තුළ තවමත් මුල්බැස ඇති හෙයින් ප්‍රචණ්ඩත්වය ද ඉහළ ගොස් ඇති බවයි. මේ අතර, ඉතාලියේ RAI රාජ්‍ය රූපවාහිනිය අපූරු වාර්තාවක් ඉදිරිපත් කරන්නට විය. ඔවුන් පවසන්නේ තරුණියගේ සිරුර සොයාගත් දිනයේ සිට ජාතික හදිසි ඇමතුම් අංශයට ලැබුණු හෙළි කිරීම් පිළිබඳව තොරතුරකි. ඒ අනුව එයට දිනකට ලැබී ඇති ක්ෂණික ඇමතුම් සංඛ්‍යාව දිනකට 200 සිට 400 දක්වා ඉහළ ගොස් තිබිණි. ඔවුන් පවසා ඇත්තේ පිරිමින් සම්බන්ධයෙන් කාන්තාවන් වන තමන්ට ඇති බිය පිළිබඳවයි. මේ සඳහා කාන්තාවන්, තරුණියන් පමණක් නොව ඔවුන්ගේ මවුපියන් ද ඇමතුම් ලබා ගෙන තිබිණි. රජයේ සංඛ්‍යාලේඛනයන්ට අනුව මෙම වසර තුළ ඉතාලියේ කාන්තාවන් 100කට වඩා ඝාතනය කර ඇති අතර, ඉන් අඩක් පමණ ඝාතනය වී ඇත්තේ තම සහකරු හෝ පෙර සහකරු අතිනි.

මේ අතරම ඉතාලියේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය ද තමා සතු දත්තයන් ගෙන හැර පෑවේය. එම දත්තයන්හි සඳහන් වූයේ 106 දෙනෙකු ඝාතනය වී ඇති අතර, 55 දෙනෙකු මියගොස් ඇත්තේ පෙර හෝ වත්මන් සහකරු අතින් බවයි.

මේ සමඟම එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කර සිටින්නේ කාන්තාවන්ට සහ තරුණියන්ට එරෙහිව ක්‍රියාත්මක වන ප්‍රචණ්ඩත්වය ලෝකයේ ඇති වඩාත්ම පැතිර ගිය මානව හිමිකම් උල්ලංඝනය ලෙසිනි. එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් මෑතදී ඉදිරිපත් කරන ලද සංඛ්‍යාලේඛනයන්ට අනුව ගෝලීයව ගත් කල මිලියන 700කට වැඩි කාන්තාවන්ගෙන් තුනෙන් එකක් පමණ සමීප සහකරු මඟින් ශාරීරික හා ලිංගික ප්‍රචණ්ඩත්වයට හෝ හවුල්කරුවකු නොවන්නකු අතින් ලිංගික හෝ ශාරීරික හිංසනයට අවම වශයෙන් ඔවුන්ගේ ජීවිතයේදී එක් වරක් හෝ මුහුණ දී ඇති අයුරුය.

මෙකී ප්‍රචණ්ඩත්වයන් වැළකීමේ අරමුණින් ක්‍රියාමාර්ගයන් ගන්නා ලෙස රජයට බල කරමින් ප්‍රංශයේ පැරිස් නුවර ද දහස් සංඛ්‍යාත ජනකායක් පැරීසියේ පෙළපාළි ගියහ. මේ හේතුවෙන් ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් පවසා සිටියේ ගෘහස්ථ හිංසනය මෙන්ම කාන්තාවන්ට සිදු වන අනෙකුත් හිංසනයන් වැළැක්වීමට ද කටයුතු කරන බවයි.

මෙම ප්‍රචණ්ඩත්වයන් සම්බන්ධයෙන් ඉතාලි ජනාධිපතිවරයා ප්‍රකාශ කරන්නේ ශිෂ්ටසම්පන්න ජාතියක් වීමට අපේක්ෂාවෙන් සිටින මිනිස් සමාජයකට මෙවැනි මිනීමැරුම් පිළිගත නොහැකිය යන්නය. මෙවැනි දෑ පිළිබඳව තමා මහත් සේ කම්පාවට පත් වන බව ද පැවසීය. මේ අතරම පාප්වහන්සේ විසින් X හි මෙන්ම twitter සටහන් තබමින් කියා සිටියේ කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය අපගේ සමාජයට පීඩා කරනු ලබන විෂ සහිත වල්පැළෑටියක් බවත්, එය මුලින්ම උපුටා දැමිය යුතුය යන්නයි. එමෙන්ම අධ්‍යාපනික ක්‍රියාමාර්ගවලින් ද මේවාට ප්‍රතිවිරෝධය දැක්විය යුතුය යන්න පාප්වහන්සේගේ මතය විය. මේ සමඟ පසුගිය සතිය මුලදී ඉතාලි පාර්ලිමේන්තුව ඒකමතික තීරණයකට පැමිණියේ කාන්තාවන්ට එරෙහිව සිදු වන හිංසනයන් මැඬලීමට නව පියවර අනුගමනය කිරීමටත් හඳුන්වා දෙන ක්‍රියාමාර්ග අතර, ලිංගිකත්වය, පුරුෂාධිපත්‍යය සහ කාන්තාවන්ට එරෙහි මානසික හා ශාරීරික හිංසනය සම්බන්ධ වැඩපිළිවෙළක් පාසල් තුළ ද ක්‍රියාත්මක කිරීමටය.

ඝාතනයෙන් පසු

මියගිය Giulia ගේ සොහොයුරිය විසින් ප්‍රකාශ කර ඇත්තේ මේ සඳහා රජයේ මැදිහත් වීම ප්‍රමාණවත් නොවන නිසා රජය මේ වෙනුවෙන් වගකිවයුතුය කියාය. පාසල්වල පුහුණු පාඨමාලා හෝ ලිංගික අධ්‍යාපනය සඳහා ප්‍රමාණවත් වන මුදල් රජය විසින් ලබා නොදෙන බවත්, මෙම සිදුවීම පැහැදිලිව ඔවුන් හෙළා නොදකින නිසා කාන්තාවන්ට නිසි ආරක්ෂාවක් නොලැබෙන බවත් කියා සිටියාය. මේ අතර, ඇයගේ පියා වන Gino Cecchettin සඳහන් කරන්නේ ‘මගේ දියණිය නැවත පැමිණෙන්නේ නෑ. නමුත් මට මේ සිදු වීමෙන් පිටතට පැමිණ යහපත් මුලපිරීමක අවශ්‍යතාවක් තිබෙනවා’ යනුවෙනි. තවද ඔහු විසින් පාදුවා විශ්වවිද්‍යාලයේ සිසුන් ඇමතූ අතර, කාන්තා හිංසනයට ගොදුරු වූ සියලුදෙනා වෙනුවෙන් විශ්වවිද්‍යාලයේ සිහිවටනයක් ද විවෘත කළේය.

මෙම උද්‍යෝගයත් සමඟ ඉතාලියේ අගමැතිනිය වන Giorgia meloni ද මේ සඳහා මැදිහත් වූයේ කාන්තාවන් ආරක්ෂා කිරීමට, අධ්‍යාපනය වැඩිදියුණු කිරීමට මෙන්ම මෙම ගැටලු පිළිබඳව මහජනතාව දැනුම්වත් කිරීමට පොරොන්දු වෙමිනි. එමෙන්ම ක්‍රියාකාරී දේශපාලනයේ යෙදෙන Schlein ද කාන්තාවන්ට එරෙහිව සිදු වන ප්‍රචණ්ඩත්වයට විරුද්ධව නැඟී සිටියාය.

කෙසේ වෙතත් මේ මොහොත වන විට සෑම දින තුනකට වරක්ම කාන්තාවක් ඝාතනය වන බව දැක්වේ. මෙම උද්ඝෝෂණයට මුල් වූ තරුණිය පිළිබඳ විස්තර සොයා යෑමේදී ඇයගේ අවසාන මොහොත පිළිබඳව පොලිසිය විස්තර දක්වන්නේ මෙලෙසිනි. ‘ඇය අතුරුදන් වූයේ Filippo Turetta සමඟ උපාධි ඇඳුම් මිල දී ගැනීමට ගිය අවස්ථාවේදීය. මොවුන් දෙදෙනා අතුරුදන් වූ නමුත් දින කිහිපයකට පසු CCTV දර්ශනවලින් දැකගන්නට හැකියාව ලැබුණේ Filippo තමාගේ පෙර සහකාරියට ඇයගේ නි‍ෙවස ආසන්නයේ රථගාලකදී පහර දෙන ආකාරයයි. ඉන්පසු ඇයව අපට හමුවුණේ කානුවක පතුලක තිබියදීයි’ යනුවෙනි.

මේ මොහොත ඉතාලියට වඩාත් වැදගත් වන්නේ කාන්තාවන්ට සිදු වන ප්‍රචණ්ඩත්වයට එරෙහිව කාන්තා, පිරිමි භේදයක් නොමැතිව එක්ව සිටීමය. ඉන් අවසන ඇත්තේ ඒ පිළිබඳව යහපත් ලෝකයක් ඔවුන් ඉදිරියේ මැවෙනතුරු බලා සිටීමය.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT