පෘථිවිය මත වැඩිම දුර ප්‍රමාණයක් ඇවිදීමෙන් ගිනස් වාර්තාවක් පිහිටුවීමට අයර්ලන්තයේ පදිංචි ඉන්දීය ජාතිකයකු වන 73 හැවිරිදි විනෝද් බජාජ් සමත් වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය. මීට පෙර වසර 2020 සැප්තැම්බර් මාසයේ සිට පළමු වරට එම වාර්තාව තැබූ විනෝද් බජාජ් මෙවර ඊට දින 382ක් අඩුවෙන් නව වාර්තාව තබා ඇති අතර, ඒ සඳහා ඔහුට ගත වී ඇති කාලය දින 1,114ක් බව ද ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේය. දශක 4ක් පුරා අයර්ලන්තයේ පදිංචිව සිටින විශ්‍රාමික ඉංජිනේරුවරයකු වන විනෝද් බජාජ් කිලෝමීටර් අසූදහසකට වැඩි දුරක් ආවරණය කර ඇති අතර, එය මිනිසකු පෘථිවියේ පයින් ඇවිද ගිය වැඩිම දුර ප්‍රමාණය ලෙස වාර්තා පොතට එක්වනු ඇතැයි සඳහන් වේ. මේ සඳහා ඔහුට පාවහන් යුගල 21ක් භාවිත කිරීමට සිදු වී තිබූ බවත් වාර්තා වේ. ගිනස් පොතට සිය වාර්තාව ඇතුළත් කිරිමට ඔහු මේ වන විට එම අයැදුම්පත යොමු කර ඇත.
මේ වාර්තාව ඔහු විසින් තැබීම විඳ දරා ගැනීමේ සහ අධිෂ්ඨානයේ කැපී පෙනෙන හැකියාව විදහා පෑමක් බවත්, ඇවිදීම ඔහුගේ ප්‍රධානතම විනෝදාංශයක් බවට පත් වී ඇති බැවින් මේ වාර්තාව තැබීමට සමත් වී ඇති බවත් ඉන්දීය මාධ්‍ය සඳහන් කළේය.