Saturday, May 10, 2025
Home » සිසුන් 45,000කට මෙවර සරසවි වරම්

සිසුන් 45,000කට මෙවර සරසවි වරම්

ඉතිහාසයේ පළමු වරට සිසුන්ට තමා තේරුණු සරසවිය හා පාඨමාලාව SMS පණිවිඩයකින් ජංගම දුරකතනයට

by gayan
December 2, 2023 1:00 am 0 comment

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නියෝජ්‍ය ලේකම් ශාලිකා ආරියරත්න මහත්ම මහත්මීන් මාධ්‍ය හමුවේදී
  • විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ සභාපති, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග
  • රට හමුවේ කොතරම් අභියෝග තිබුණත් සරසවි පද්ධතියේ ප්‍රසාරණයක් වෙලා තිබෙනවා:
  • සිසුන් ඇතුළත් කර ගැනීම ජනවාරියේ

මෑත කාලයේ රට හමුවේ කොතරම් අභියෝග පැවතියත් මෙරට විශ්වවිද්‍යාල පද්ධතියේ ප්‍රසාරණයක් කරමින් පසුගිය සිවු වසරක කාලයේ දී ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතියට සිසුන් 50,000ක් වැඩිපුර බඳවා ගැනීමට පියවර ගෙන තිබෙන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා අවධාරණය කරයි.

2022 වසරේ පැවැති අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල පදනම් කරගෙන සිසුන් 45,000ක් විශ්වවිද්‍යාල පද්ධතියට සුදුසුකම් ලබාගෙන තිබෙන බව පෙන්වා දෙන ඒ මහතා එයින් සිසුන් 42,105ක් ඒ ඒ විශ්වවිද්‍යාලයන්හි එක් එක් පාඨමාලා සඳහා මූලික වටයේ දී බඳවා ගන්නා බව සඳහන් කළේය. ඒ බව ඉතිහාසයේ පළමු වරට එම සිසුන්ට තමන් තේරීපත්ව සිටින විශ්වවිද්‍යාලය, පාඨමාලාව ආදිය ඔවුන්ගේ ජංගම දුරකතනය වෙත කෙටි පණිවිඩයක් මඟින් දැනුම් දීමට පියවර ගෙන තිබෙන බව ද ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පැවසුවේය.

ඒ මහතා මේ බව සඳහන් කළේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී ඊයේ (01) පස්වරුවේ පැවැති විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමිනි. 2022/2023 අධ්‍යයන වර්ෂයේ විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා කඩඉම් (Z) ලකුණු සම්බන්ධයෙන් මාධ්‍ය දැනුම්වත් කිරීම මෙහිදී සිදුවිය.

එහිදී වැඩිදුරටත් මහාචාර්ය සම්පත් අමරතුංග මහතා මෙසේ ද පැවසීය.

Òදරුවන් විශාල පිරිසක් විශ්වවිද්‍යාලවලට ඇතුළත් වන්න අපේක්ෂා කරනවා. කඩඉම් ලකුණු ඉදිරිපත් කරනවා. 2022 වසරේ උසස් පෙළ ප්‍රතිඵල පසුගිය සැප්තැම්බර් මාසයේ 04 වැනිදා නිකුත් කළා. 05 වැනිදා වනවිට සෑම දරුවකුටම පිළිගත් පොත්හල්වලින් ප්‍රතිපාදන කොමිසමේ ශිෂ්‍ය අත්පොත ලබාදුන්නා. එයින් සතියකට පසුව දරුවන්ට තමන්ගේ අයැදුම්පත යොමු කරන්න අවස්ථාව ලබාදුන්නා. එයින් පසුව යොමු කළ අයැදුම්පත් භාර ගැනීම ඔක්තෝබර් 5 වැනිදා අවසන් වුණා. පසුව දරුවන්ට අවස්ථාව දුන්නා තවත් සති දෙකක්. ඔවුන් ඉදිරිපත් කළ විශ්වවිද්‍යාලවල වරණය යම් විදියකින් වෙනස් කරන්න අවශ්‍ය වන්නේ නම්, පාඨමාලාවල වරණය වෙනස් කිරීමට අවශ්‍ය නම් සති දෙකක් දුන්නා. ඒ අනුව නොවැම්බර් අවසන් වනවිට අපි අපේක්ෂා කළා කඩඉම් ලකුණු නිකුත් කරන්න. මෙය ලංකාවේ ඉක්මණින් කඩඉම් ලකුණු ලබාදෙන පළමු අවස්ථාව වෙනවා. විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුළත් කර ගැනීම ජනවාරි සිටම සිදුවෙනවා.

උසස් පෙළට 274,304ක් පෙනී සිටියා. එයින් මූලික සුදුසුකම් සැපිරූ 166,967ක් වෙනවා. විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම් කළ පිරිස 84,176ක්. මෙයින් දරුවන් 45,000ක් විශ්වවිද්‍යාල පද්ධතියට බඳවා ගැනීමට නියමිතයි. මූලික වටයේ දී 42,105ක් බඳවා ගන්නවා. ජීව විද්‍යාවට 9896ක්, භෞතික විද්‍යාව 8071ක්, වාණිජ 7,850ක්, කලා විෂය ධාරාවට 11,780ක්, ඉංජිනේරු තාක්ෂණවේදය 2,295ක් ජෛව පද්ධතිය තාක්ෂණය 1,536ක් වෙනත් 719ක් වෙනවා. මූලික අවස්ථාවේ ඔවුන් තෝරා ගත්තා. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව මේ අයදුම්පත් යොමු කළ සෑම දරුවකුටම ලබාදුන් ජංගම දුරකතන අංකයට කෙටි පණිවිඩයක් යොමු කරන්න, මේ වනවිට පියවර ගෙන තිබෙනවා. අද දින ඇතුළත මේ දරුවන්ට තෝරාගත් විශ්වවිද්‍යාල, පාඨමාලා ආදිය දැනුම් දෙනවා. අද දින නොලැබෙන්නේ නම් ප්‍රතිපාදන කොමිසම අමතන්න පුළුවන්. අපේ රටේ පසුගිය වසර කීපය ගත් විට මුලින්ම කොවිඩ් වසංගතය, ආර්ථිය ගැටලු තිබුණා. ඒ කුමන තත්ත්වයක් තිබුණ ද විශ්වවිද්‍යාල පද්ධතියේ ප්‍රසාරණයක් වුණා. 2020 දී 30,000ක් බඳවා ගත්තා.

එයින් පසුව එකවර 40,000ක් බඳවා ගත්තා. 2021 දී 11000ක් බවට පත්වුණා. 2022 දී මේ තත්ත්වය 13,000කින් වැඩි කළා. මෙවර 15,000කින් එය වැඩි කර තිබෙනවා. මේ අවුරුදු හතරක දී 50,000 කට ආසන්න සිසුන් පිරිසක් වැඩිපුර බඳවාගෙන තිබෙනවා. රටේ කුමන තත්ත්වයක් තිබුණ ද විශ්වවිද්‍යාල පද්ධතියේ ප්‍රසාරණයක් සිදු වී තිබෙනවා. මේ තුළත් සියයට 85ක්ම විද්‍යාව මත පදනම් වූ පාඨමාලාවලට දරුවන් තෝරා ගැනීම වැඩි වී තිබෙනවා. ලෝක ඉල්ලුම සමඟ ලංකාවේ ඉල්ලුම ආදිය ගත් විට විද්‍යාව මත පදනම් වූ විෂයන්ට වැඩි වශයෙන් බඳවාගෙන තිබෙනවා. පරිගණක ඉංජිනේරු විද්‍යාව සම්බන්ධයෙන් 40,000ක් පමණ රැකියා අපේ රටේම තිබෙනවා. ඒ ඉල්ලුමට සරිලන ලෙස කටයුතු කරන්නත් දරුවන්ට වඩා හොඳ අවස්ථා දෙන්න කටයුතු කරන්නත් අපි කටයුතු කරනවා. මානව ශාස්ත්‍ර අධ්‍යයනය අධෛර්යමත් නොකර කටයුතු කරනවා. ඔවුන් වෙනුවෙන් ද නව අධ්‍යයන පාඨමාලා ආරම්භ කර තිබෙනවා.

එය අපේ විශ්වවිද්‍යාල පද්ධතියේ කටයුතු කරන දරුවන්ට නව සුදුසුකම් ලබාගන්න අවස්ථාව දී තිබෙනවා. එය විශ්වවිද්‍යාල පද්ධතියේ කටයුතු කරන දරුවන්ට අලුත් අත්දැකීමක් වෙනවා. මානව ශාස්ත්‍ර පීඨයටත් පරිගණක අධ්‍යයන කටයුතු ගෙනවිත් තිබෙනවා. දරුවන්ගේ සාමාන්‍ය අධ්‍යයන කටයුතුවලට අමතරව මේවා කරගෙන යන්න පුළුවන්. තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයට ලෝකයේ විශාල නැඹුරුවක් ඒ වෙනුවෙන් තිබෙනවා. ඇතැම් පාඨමාලා තිබෙනවා පොදුවේ ඕනෑම විෂය ධාරාවකින් ඉගෙන ගත් දරුවන්ට පුළුවන් පරිගණක විද්‍යාව සම්බන්ධ උපාධියක් කරන්න. එහිදී ඇති තත්ත්වය තමයි පළමුවන ශ්‍රේණියේ ඉහළ සාමාර්ථ ලබාගන්න කලා අංශයෙන් උසස් පෙළ කළ දරුවන් ද පරිගණක අංශයෙන් ඉහළ සාමාර්ථ ලබාගන්නවා. දරුවන්ගේ හැකියාව පිළිබඳ කිසිඳු ගැටලුවක් නැහැ. ඒ නිසා මානව ශාස්ත්‍ර පිඨවලටත් පරිගණක විද්‍යාව, තාක්ෂණ විද්‍යාව හඳුන්වා දී තිබෙනවා. පරිගණක අධ්‍යයනාංශයක් පවා පිහිටුවා තිබෙනවා.

ඒ තුළින් දරුවන්ට තිබෙන අවස්ථාව වැඩිකර ගන්න අපේක්ෂා කරනවා. ප්‍රධාන විෂය ධාරාවන් සඳහා දරුවන්ට අවස්ථාව දී තිබෙනවා. උදාහරණයක් ලෙස ගත්විට ඉංජිනේරු විෂය ධාරාව ගත්විට ඒ. අයි, පරිගණක, ඉලෙක්ට්‍රොනික විද්‍යාව සඳහා ඉල්ලුම ඉහළ ගොස් තිබෙනවා. අනෙකුත් අංශත් ඒ හා සමානව පිහිටුවා තිබෙනවා. එවැනි විශේෂ අංශයන් සෑම දරුවකුටම අධ්‍යාපන අංශවලට සම්බන්ධ වන ආකාරයට තීරණ ගන්නවා. වෙනත් විෂයන්වලට ද තාක්ෂණය යොදා ගන්න හැකි ලෙස විශ්වවිද්‍යාල පද්ධතිය කටයුතු කරගෙන යනවා. දැන් දරුවන් ලියාපදිංචි විය යුත්තේ මුල් අවස්ථාවේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ. ඒ අනුව තමන්ගේ උපාධි පාඨමාලාවට ලියාපදිංචි නොවන්නේ නම් ඊළඟ වටයේ දී ඒ සම්බන්ධයෙන් පවතින පුරප්පාඩු පිරවීමට අපි පියවර ගන්නවා. ඒ පිළිබඳව විශ්වවිද්‍යාලයෙන් ඇසිය යුතු නැහැ. මේ පළමු කඩඉම් ලැයිස්තුව විශ්වවිද්‍යාලයට ඉතා ඉක්මණින් යනවා. ඒ අනුව පුරප්පාඩු පුරවන්න ඉක්මණින් හැකියි.

ඇතැම් විට එවැනි පුරප්පාඩු පුරවන විට පසුගිය කාලයේ පළමු කණ්ඩායම විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු ආරම්භ කර තිබෙනවා. නමුත් දැන් මේ කටයුතු කඩිනමින් සිදුවෙනවා. දැන් අපි කඩිනමින් නම් ලැයිස්තුව යොමු කරනවා. හැම අවස්ථාවකම අපි දරුවන්ගේ පැත්තෙන් බලනවා. සමස්තයක් වශයෙන් සෑම දරුවෙක් පිළිබඳවම සිතා තීරණ ගන්නවා. මෑතක දී අලුතින් පාඨමාලා 4ක් හඳුන්වා දී තිබෙනවා. 2022/2023 අධ්‍යයන වර්ෂයට ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය සඳහා නව පාඨමාලාවක් හඳුන්වා දුන්නා. වැවිලි කළමනාකරණය හා තාක්ෂණය පාඨමාලාව. 2016ක් ඒ වෙනුවෙන් බඳවා ගත්තා. ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලය සඳහා දත්ත විද්‍යාව පාඨමාලාව හඳුන්වා දුන්නා. කොළඹ විශ්ව විද්‍යාලයට ප්‍රාථමික අධ්‍යාපන පාඨමාලාව හඳුන්වා දුන්නා. වෛද්‍ය ප්‍රතිබිම්භ තාක්ෂණය කොළඹ විශ්වවිද්‍යාලයට හඳුන්වා දී තිබෙනවා. ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයට නව වෛද්‍ය පීඨයක් හඳුන්වා දුන්නා. මේ පාඨමාලා නව පාඨමාලායි. ඒ අනුව පසුගිය වසරේ බඳවාගත් පිරිසට වඩා වෛද්‍ය පීඨය වෙනුවෙන් බඳවා ගන්නා සිසුන් සංඛ්‍යාව තවත් 50කින් ඉහළ දමා තිබෙනවා.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නියෝජ්‍ය ලේකම් ශාලිකා ආරියරත්න මහත්මිය –

Òසෑම දරුවෙකුටම දුරකතන කෙටි පණිවිඩය යොමු කරන්නේ පළමු වරටයි. ඒ අනුව මේ වනවිට අදාළ කෙටි පණිවිඩ යොමු කිරීම ආරම්භ කර තිබෙනවා. UGC (space) විභාග අංකය ටයිප් කර 1919ට කෙටි පණිවිඩයක් යොමු කිරීමෙන් විශ්වවිද්‍යාලයට සුදුසුකම් ලබා ඇතිදැයි දැනගැනීමට හැකි වෙනවා. මේ සම්බන්ධයෙන් යම් ගැටලුවක් ඇත්නම් 0112695301, 0112695302, 0112692357, 0112675854 දුරකතන අංක ඔස්සේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව අමතන්න පුළුවන්. දරුවන්ට ඊයේ (01) ඇතුළත අයැදුම්පත් යොමුකළ සෑම දරුවෙකුටම විශ්වවිද්‍යාලය සඳහා බඳවා ගැනීම, විශ්වවිද්‍යාලය කුමක් ද සහ අදාළ පාඨමාලාව පිළිබඳව මෙලෙස කෙටි පණිවිව මඟින් දැනුම් දෙනවා. එම පාඨමාලාවට අදාළ කඩඉම් ලකුණු දී තිබෙනවා. තමන් තේරී සිටින පාඨමාලාව සම්බන්ධයෙන් යම්කිසි ගැටලුවක් තිබෙන්නේ නම් ඒ පිළිබඳව දැනුම් දෙන්න පුළුවන්. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ වෙබ් අඩවියට ඇතුළු වීමෙන් කඩඉම් ලකුණු දැනගන්න හැකියි. ඊට අමතරව තමන් අයැදුම් කළ පාඨමාලාවට නොව වෙනත් පාඨමාලා සඳහා තමන්ගේ කඩඉම් ලකුණු තිබෙන්නේ නම් ඒ අයට දින 30ක් ඇතුළත අභියාචනයක් ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ සම්බන්ධයෙන් වන අයැදුම්පත ප්‍රවේශ අත්පොත් සටහන් කර තිබෙනවා. කඩඉම් ලකුණු නිකුත් කර සති දෙකක් ඇතුළත විශ්වවිද්‍යාල ප්‍රවේශයට ලියාපදිංචි කරනවා.

විශ්වවිද්‍යාලය හා සියලුම තොරතුරු ලැබීමට සලස්වනවා. යම් දරුවකුට ඊයේ කෙටි පණිවිඩයක් නොලැබුණා නම් ඒ දරුවන්ට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ආමන්ත්‍රණය කරන්න පුළුවන් 1919න්. එමඟින් වැඩිදුර විස්තර ලබාගන්න පුළුවන්. www.ugc.ac.lk මඟින් ප්‍රතිපාදන කොමිසමට දැනුම් දෙන්න පුළුවන්.

අද සිට තමන් තේරුණු පාඨමාලාව සම්බන්ධයෙන් ගැටලුවක් ඇත්නම් ඒ ගැන දැනුම් දෙන්න පුළුවන්. කඩඉම් ලකුණු මේ වනවිට නිකුත් කර තිබෙනවා. තමන් අයිති නොවන පාඨමාලාවකට කඩඉම් ලකුණු ඇත්නම් අයැදුම්පතක් යොමු කරන්න පුළුවන්. තව සති දෙකක් යනවිට විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා ලියාපදිංචිය ආරම්භ කරනවා. ඒ අනුව එයින් පසුව ද විශ්වවිද්‍යාලයට තේරී ඇති බවට කෙටි පණිවිඩයක් යොමු කරනවා. භාෂා තුනෙන්ම මේ පිළිබඳ වෙබ් අඩවියේ උපදෙස් තිබෙනවා. තමන් තේරුණු පාඨමාලාවේම රැඳී සිටින්නේ නම් ඒ වෙනුවෙන් යොමු වන්න පුළුවන්. ඒ අනුව එම පාඨමාලාව භාරගන්න වෙනවා. කල්පනාවෙන් එම පාඨමාලාවෙන් ඉවත් වෙන්න අවශ්‍ය වන්නේ නම් ඒ පිළිබඳව දැනුම්වත් කරන්න පුළුවන්. සෑම පාඨමාලාවකටම අදාළ දිස්ත්‍රික් අවම කඩඉම් ලකුණු විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ www.ugc.ac.lk වෙබ් අඩවියෙන් ලබාගන්න පුළුවන්Ó යැයි සඳහන් කළාය.

ඡායාරූප – සුදත් නිශාන්ත

 

 

 

 

 

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT