Saturday, May 10, 2025
Home » ලංකාවෙන්ම ප්‍රථමයා වෙයි කියලා නම් හිතුවේ නෑ

ලංකාවෙන්ම ප්‍රථමයා වෙයි කියලා නම් හිතුවේ නෑ

මහනුවර මහාමායා බාලිකාවේ සමාධි රණවක කියයි

by gayan
December 2, 2023 1:00 am 0 comment

වෛද්‍යවරියක වීම මගේ බලාපොරොත්තුවයි

මෙවර අපොස සාමාන්‍ය පෙළ ප්‍රතිඵල අනුව දිවයිනේ ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමට මහනුවර මහාමායා බාලිකා විදුහලේ සමාධි රණවක සිසුවිය සමත් වී ඇත.

ඇය පහ වසර ශිෂ්‍යත්ව විභාගය සමත්ව ඇත්තේ ලකුණු 171ක් ලබා ගනිමිනි. පළමු වසරේ සිට මහාමායා බාලිකා විදුහලේ අධ්‍යාපනය ලබා තිබෙන සමාධි පාසලේ කණිෂ්ඨ විද්‍යා සංගමයේ ලේකම් ලෙස ද කටයුතු කරයි.

මධ්‍යම පළාත් කර්මාන්ත අමාත්‍යාංශ ලේකම් උපාලි රණවක මහතාගේ දියණිය වන ඇයගේ මව දේශානි කරුණාතිලකය.

සමාධිගේ වැඩිමහල් සහෝදරිය වන දෙව්මිණි රණවක උසස් පෙළ විභාග ප්‍රතිඵල අනුව ජීව විද්‍යා අංශයෙන් විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබීමට සුදුසුකම් ලබා තිබෙන අතර අනෙක් සහෝදරිය වන යශෝධරා රණවක ජීව විද්‍යා අංශයෙන් මහනුවර මහාමායා බාලිකාවේ උසස් පෙළ හදාරමින් සිටී.

සාමාන්‍ය පෙළ විභාගයේ දී තමන්ට ඒ සමාර්ථ 09ක් ලැබෙනු ඇතැයි අනුමාන කළත් දිවයිනේ විශිෂ්ටයා වීමට ලැබේයැයි නොසිතූ බවත් ජීව විද්‍යා අංශයෙන් උසස් පෙළ හදාරා අනාගතයේ දී වෛද්‍යවරියක වීම තම බලාපොරොත්තුව බවත් සමාධි සිසුවිය පැවසුවාය.

මේ ජයග්‍රහණය ලබා ගැනීමට විදුහල්පතිනිය ඇතුළු පාසලේ ගුරු මණ්ඩලයෙන් ද මව්පියන්ගෙන් හා සහෝදරියන් දෙදෙනාගෙන් ද ලැබුණු සහාය අගය කරන බව ද ඇය පැවසුවාය.

ඉලක්කයක් ඇතිව එදිනෙදා වැඩ එදිනම අවසන් කර විභාගයට සූදානම් වූ බවත් ඒ නිසා විභාගය ආසන්න වෙද්දී පීඩනයකින් තොරව පාඩම් වැඩ කර ගැනීමට හැකි වූ බවත් සමාධි ප්‍රකාශ කළාය.

සමාධි සිසුවිය පාසලට විශාල කීර්තියක් ගෙන දී තිබෙන බවත් විදුහල්පතිනිය මෙන්ම පාසලේ ආදි සිසුවියක් ලෙස මේ ජයග්‍රහණය පිළිබඳව ආඩම්බර වන බවත් මහනුවර මහාමායා බාලිකා විදුහලේ විදුහල්පති ශෂිකලා සේනාධීර මහත්මිය පැවසුවාය.

තම දියණිය සාමාන්‍ය පෙළ කඩඉම ඉහළින්ම සමත්ව තම වගකීම පාසල හා මව්පියන් වෙනුවෙන් ඉටුකර තිබෙන බවත් ගුරුවරුන්ගේ මඟ පෙන්වීමත් මව්පියන් පීඩනයකින් තොරව නිරන්තරව දුන් ආදරයත් නිසා ඇය මේ විශේෂ ජයග්‍රහණය ගත් බවත් සමාධිගේ පියාවන මධ්‍යම පළාත් කර්මාන්ත අමාත්‍යාංශ ලේකම් උපාලි රණවක මහතා පැවසීය.

සමාධි කිසිම අවස්ථාවක අධ්‍යාපන වැඩ බරක් ලෙස නොසැලකූ බවත් මේ නිසා පාඩම් කරන්නැයි ඇයට බලපෑම් කරන්න සිදු නොවුණු බවත් ඒ මහතා පැවසීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT