ලබන වසරේ ප්‍රාථමික අංශයට නොමිලේ දිවා ආහාරය සහ නිල ඇඳුම් ලබා දීමට සැලසුම් සකස් කර අවසන් බව අධ්‍යාපන ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සඳහන් කළේය.
අධ්‍යාපන ඇමැතිවරයා මේ අදහස් පළ කළේ නාත්තණ්ඩිය ජාතික පාසලේ ඉදි කළ තෙමහල් ගොඩනැඟිල්ල හා දන්ත චිකිත්සක ඒකකය සිසු අයිතියට පැවරීමේ අවස්ථාවට සහභාගි වෙමිනි.
අධ්‍යාපන අමාත්‍යාංශයේ මූල්‍ය ප්‍රතිපාදන මඟින් ඉදි කළ පන්ති කාමර 12කින් සමන්විත තෙමහල් ගොඩනැඟිල්ල සඳහා වැය කළ මුදල රුපියල් මිලියන 48.5කි. අංගසම්පූර්ණ දන්ත චිකිත්සක ඒකකය සඳහා වැය කළ මුදල රුපියල් මිලියන 17.5කි.
මේ උත්සවයේදී ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා මෙසේ සඳහන් කළේය.
“මේ වසරේ සියලුම දරුවන්ට නිල ඇඳුම් දුන්නා. ලබන අවුරුද්දේ දෙන නිල ඇඳුම් සියල්ල නැව්ගත කර තිබෙන්නේ. පළමු වැනි තොගය දෙසැම්බර් 30 දා ලංකාවට එනවා.
පෙබරවාරියේ නව පාසල් වාරය පටන් ගන්න ප්‍රථම සියලුම නිල ඇඳුම් දෙන්න සැලසුම් කර තිබෙනවා. බිලියන 5.5ක නිල ඇඳුම් මම නොමිලේ ලබා ගත්තා චීනයෙන්. රටට ඉතුරු කර දුන්න මුදල මිලියන 5500ක්. පෙළපොත් මුද්‍රණ සංස්ථාව මුද්‍රණය කර ඉවරයි. ඒවා අපට දෙසැම්බර් 15 දා වන විට ලැබෙනවා. ඒවා සූදානම් මිලියන දොළොස් 12,000ක් තමයි වියදම. පාසල් දිවා ආහාරයට මිලියන 16,000ක් වෙන්කර තිබෙනවා. ලබන අවුරුද්දේ පාසල් 3000ක් අපි ඩිජිටල්කරණය කරනවා. ඊට අවශ්‍ය මූලික වැඩ කටයුතු අපි දැන් කරගෙන යනවා. උසස් පෙළ තිබෙන සෑම පාසලකම ඩිජිටල්කරණය කරලා ස්මාට් ක්ලාස්රූම් බවට පත් කරනවා. මීට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ණයක් නොව චීන රජයෙන් ප්‍රදානයක් හැටියට ලැබෙනවා.
9 වසර දක්වා නියමු ව්‍යාපෘති ලබන අවුරුද්දේ සිට අපි පටන් ගැනීමට කටයුතු කර තිබෙනවා. පන්ති කාමරය දරුවන්ට සුහදශීලි ස්ථානයක් විය යුතුයි. විභාග ඔළුවේ තියාගෙන අහවල් දවසේ විභාගය කියා කටයුතු කරන්න බෑ. ලෝකෙ අධ්‍යාපන ක්‍රම වෙනස් වෙලා. අපි ඊට අනුගත විය යුතුයි. දැන් බලන්න ජාත්‍යන්තර පාසල්වල උපකාරක පන්ති පැවැත්වෙන්නේ නෑ. ඒගොල්ලොන් නියමිත වෙලාවට විභාග තියනවා. ටියුෂන් පන්ති යනවා. සමහර උපකාරක පන්තියට පැය පහයි, හයයි. පන්ති කාමරයේ ඉගෙනුමට විනාඩි 40ක් සීමා කර තිබෙන්නෙ ඇයි? ඒ මනස ඒකාග්‍රතාවෙන් තියාගන්න. මානව සම්පත්, භෞතික සම්පත් ඊළඟ අවුරුද්ද අවසන් වෙන්න කලින් දුන්නොත් ඊළඟ අවුරුදු පහ යන විට ප්‍රතිසංස්කරණය කිරීම් සාර්ථක කර ගන්න පාසල්වල මූලික අවශ්‍යතා සපුරා ගෙනයන්න පුළුවන්.”
රාජ්‍ය ඇමැති අශෝක ප්‍රියන්ත, විදුහල්පති නීල් සියඹලාපිටිය මහත්වරුන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූහ.
මිහිර විජේසේකර – මාරවිල සමූහ