Home » කැමරා ශිල්පි මහේෂ් ගුණසිංහ පිහි ඇනුමකින් මියගිහින්

කැමරා ශිල්පි මහේෂ් ගුණසිංහ පිහි ඇනුමකින් මියගිහින්

by gayan
December 2, 2023 1:00 am 0 comment

ප්‍රධාන පෙළේ රූපවාහිනී මාධ්‍ය ආයතනයක ප්‍රාදේශීය වාර්තාකරුවකු මෙන්ම කැමරා ශිල්පියකු ලෙසද කටයුතු කරන මුතුගල ආරච්චිගේ මහේෂ් ගුණසිංහ (36) මහතා තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර ඇතැයි වේයන්ගොඩ පොලිසිය කියයි.

මේ ඝාතනය සිදු වී ඇත්තේ පෙරේදා (30) රාත්‍රියේදී වේයන්ගොඩ කටුවස්ගොඩ පිහිටි හෝටලයකදීය.

දෙදරු පියකු වන මහේෂ් ගුණසිංහ මහතා වල්පොල, රැග්ගහවිල පදිංචි අයකු වන අතර, ඝාතනයට ලක් වන විට සේවය කරමින් සිට ඇත්තේ ස්වරණවාහිනී ආයතනයේය. මොහු 2012-2014 කාලවකවානුවේ සිරස රූපවාහිනියේත්, ජනාධිපති මාධ්‍ය අංශයේත් සේවය කර ඇති බව සඳහන්ය.

මොහු ඝාතනයට ලක් වයූ හෝටලයේ රූපලාවණ්‍යාගරයක්ද පවත්වාගෙන යන බවද පොලිසිය කියයි. කටුවස්ගොඩ, වේයන්ගොඩ ලිපිනයේ පිහිටි එම හෝටලයට මාධ්‍යවේදියා පැමිණි අවස්ථාවේ ඔහු මේ සිද්ධියට මුහුණ පා ඇති අතර, හෝටලයේ හිමිකාර යුවළ තුවාල ලබා සිටි මාධ්‍යවේදියා රෝහල්ගත කිරීමට පියවර ගෙන ඇතත්, ඒ වන විටත් ඔහු මියගොස් සිටි බව මූලික පරීක්ෂණවලදී හෙළි වී ඇත.

තුවාලකරු රෝහල්ගත කළ යුවළගෙන් මේ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමට පොලිසිය පියවර ගෙන ඇති අතර, එහිදී හෙළි වී ඇත්තේ ඝාතනයට ලක් වූ මාධ්‍යවේදියා පෙරේදා (30) රාත්‍රී 7ට පමණ එම ස්ථානයට පැමිණි අවස්ථාවේ මෙම ඝාතනය සිදුවී ඇති බවය. ඝාතනයට ලක් වූ පුද්ගලයාගේ සිරුරේ කැපුම් තුවාල තිබූ බව වේයන්ගොඩ පොලිසිය පවසයි. ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නැති බව වේයන්ගොඩ පොලිසියේ උසස් නිලධාරියෙක් සඳහන් කළේය. ඝාතනයට ලක් වූ පුද්ගලයා එම හෝටලයට පැමිණ ඇත්තේ යතුරුපැදියකින් වන අතර එම යතුරුපැදියද හෝටලයේ හිමිකාර යුවළ පදිංචිව සිටින හෝටලය ඉදිරිපිට නවතා තිබෙන අයුරු දක්නට තිබිණි.

මේ මාධ්‍යවේදියා මෙදින පස්වරු 6 .30ට පමණ ඔහු පදිංචිව සිටින නිවෙසේ සිට පිටත්ව ඇත්තේ කොත්තුවක් ගෙනෙන්න යන බව නිවැසියන්ට පවසාය. නිවෙසේ සිට ඔහු ඝාතනය වූ ස්ථානයට ගොස් විනාඩි 20ක පමණ කාලයක් එහි රැඳී සිට ඇති බවට තොරතුරු ලැබී ඇතැයිද පොලිසිය සඳහන් කරයි. සිද්ධිය වූ නිවෙස ආසන්නයේ තිබී කාන්තාවකගේයැයි සැක කෙරෙන අත් පලඳනාවක්ද මියගිය අයගේ බවට සැක කෙරෙන අත් ඔරලෝසුවක්ද හෝටලයේ පඩිය මතද තිබී පොලිසිය සොයාගෙන ඇත.නිවෙසේ ලේ පැල්ලම් වැනි කිසිවක් සෝදා දමා ඇති ලකුණු පෙනෙන්න ඇතැයි කියන පොලිසිය ඒවා සම්බන්ධයෙන් සොයා බැලීමටද පියවර ගෙන තිබිණි. මියගිය මාධ්‍යවේදියා නිවෙසින් පිටව යෑමට ප්‍රථම ලැබුණු දුරකතන ඇමතුමක් සම්බන්ධයෙන්ද කරුණු හෙළි කරගැනීමට පරීක්ෂණ පවත්වන බව පොලීසිය සඳහන් කරයි. ඔහු සතුව තිබූ ඇපල් වර්ගයේ දුරකතනය මෙතෙක් සොයාගැනීමට හැකි වී නැති බවද පොලිසිය කියයි.

සිද්ධිය වූ නිවෙසේ තරුණ කාන්තාව රූපලාවණ්‍යගාර කටයුතු කරන තැනැත්තියක බවත්, මරණයට පත් කැමරා ශිල්පියා මංගල ජායාරූප ශිල්පියකු ලෙස කටයුතු කරන බවත් පොලිසිය කියයි. එබැවින් මෙය කිසියම් මුදල් ප්‍රශ්නයක් මත සිදු වූ ගැටුමක ප්‍රතිඵලයක්දැයි සැක කරන බවද පොලිසිය සඳහන් කරයි.

කොටදෙණියාව සමූහ – එම්. පුෂ්පකුමාර, වේයන්ගොඩ විශේෂ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT