Home » තවෂි බුරුසු සඳහා ජපානයේ ඉහළ ඉල්ලුමක්

තවෂි බුරුසු සඳහා ජපානයේ ඉහළ ඉල්ලුමක්

by chanaka
December 2, 2023 1:29 pm 0 comment

අප රටේ කොහු ආශ්‍රිත අගය එකතු කළ නිෂ්පාදන සඳහා චීනය, එක්සත් ජනපදය හා යුරෝපා රටවල ඉහළ ඉල්ලුමක් පවතී. මේ වනවිට අප රටේ නිෂ්පාදනයක් වන තවෂි කොහු බුරුසු සඳහා විදේශ වෙළෙඳ පළ තුළ ඉහල ඉල්ලුමක් ඇත.

සාමාන්‍යයෙන් වසරකට එම බුරුසු එක්කෝටි අනූ ලක්ෂයක් පමණ අපනයනය කරන බවත්, ඒ සඳහා වැඩිම ඉල්ලුමක් පවතින්නේ ජපානය තුළ බවත් පොල් සංවර්ධන අධිකාරිය පවසයි.

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පොල් සංවර්ධන අධිකාරියේ ප්‍රගතිය පිළිබඳව එම අධිකාරියේ ඉදිරි කටයුතු පිළිබඳව සමාලෝචන සාකච්ඡාවක් පසුගියදා (29) කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී පැවැත්විනි.

එහිදී මෙම කරුණු අවධාරණය කෙරුණු අතර පසුගිය කාලය තුළ පැවැති ආර්ථික අස්ථාවරභාවය හා කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් පොල් කෙඳි ආශ්‍රිත නිෂ්පාදනය හා ආදායම සියයට 50කින් පහත වැටුනු බව පොල් සංවර්ධන අධිකාරිය අවධාරණය කළේය.

දැනට මෙරට පොල් කොහු ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්තය තුළ යෙදී සිටින පිරිස 40,000ක් පමණ වන අතර වාර්ෂිකව කොහු ආශ්‍රිත නිෂ්පාදන අපනයනය මගින් මෙරටට ලැබෙන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 149ක් පමණ වේ.

පොල් කොහු ආශ්‍රිත නිෂ්පාදන සඳහා ජාත්‍යන්තර වෙළෙදපළ තුළ ඉහළ ඉල්ලුමක් පවතින බැවින් එම කර්මාන්තයේ යෙදී සිටින පිරිස දිරි ගැන්වීම සඳහා වැඩ සටහන් සකස් කරන ලෙස අමාත්‍යවරයා උපදෙස් දුන්නේය.

විශේෂයෙන් පොල් කොහු ආශ්‍රිතව මෙන්ම තල් කර්මාන්තය හා කිතුල් කර්මාන්තය ආශ්‍රිතව ද නිෂ්පාදන රැසක් දේශීය නිපදවන බැවින් එම කර්මාන්ත අංශ තුනම ඒකාබද්ධව අපනයන වැඩ සටහන් ප්‍රවර්ධනය කිරීම මගින් රටට විශාල ආදායමක් උපයා ගත හැකි බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

වර්තමානයේ සංවර්ධිත රටවලට තිබෙන ප්‍රධානම ගැටළුව පරිසර දූෂණය වළක්වා ගැනීමයි. විහේෂයෙන් ප්ලාස්ටික් භාවිතයෙන් ඉවත් වීමට බොහෝ රටවල් උත්සාහ දරති. එමනිසා සියයට 100ක්ම පරිසර හිතකාමී නිෂ්පාදන කර්මාන්තයක් වන කොහු කර්මාන්තය මෙන්ම තල් හා කිතුල් ආශ්‍රිත නිෂ්පාදන මිල දී ගැනීමට සංවර්ධිත රටවල් කැමැත්තක් දක්වති.

එමනිසා මෙම කර්මාන්තය ප්‍රවර්ධනය මගින් ඉහළ විදේශ විනිමය ප්‍රමාණයක් උපයාගත හැකිව තිබෙන බැවින් ප්‍රවර්ධන වැඩ සටහන් 2024 වසර තුළ වැඩි වශයෙන් ක්‍රියාත්මක කරන්නැයි ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

මෙම සාකච්ඡාවට පොල් සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා ඇතුළු පිරිසක් සහභාගි වූහ.

 

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT